සන්නාලියයි ඈ

 

සන්නාලියයි ඈ

MAPT/21/B1/29 W.A.L.L.Wijerathna

             අමායා, කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වන අවුරුදු විසිදෙකක තරුණියකි. ඕනෑම කෙනෙකුට දෙවරක් හැරී බැලීමට සිතන තරම් ස්වභාවික ලස්සනක් හිමි ඇයගේ පියාගේ හදිසි අභාවයෙන් පසු එම කම්පනය නිසා හදවත් රෝගයෙන් පෙලන මව සහ තවමත් පාසල් යන වයසේ පසු වන නැගණියගේ වගකීමද ඇගේ උරමත කඩා වැටෙන්නේ අමායාගේ විශ්වවිද්‍යාල ගමනට ද මග අසුරමිනි. මධ්‍යම පාන්තික පවුලක් වූ ඔවුන්ගේ නිවසට අග හිඟකම් එබකම් කරන්නට ගත්තේ පියාගේ අභාවයෙන් ටික කලකට පසු බැංකු ගිණුමේ ඔවුන් වෙනුවෙන් ඉතිරි කර තිබූ අවසාන මුදල් ප්‍රමාණය ද අම්මාගේ බෙහෙත් සහ නංගිගේ පාසල් පහසුකම් ගාස්තු ගෙවීම සඳහා අමායා ගොස් හර කරගත් පසුවය.

"හ්ම්ම්ම්......තාත්තගෙ පෙන්ෂන් එක කොහොමහරි මේ මාස කෑම වලට පිරිමහගන්න ඕනේ. අනේ ආයෙ වෙන කිසිම අමතර වියදමක් නම් එන්න එපා." අමායා සිතුවේ තනිවමය.

ධීරජ් D's fashion and textile නිමි ඇඳුම් වෙළඳසැල් ජාලයේ හිමිකරු වූ ප්‍රතාප් ගජසිංහ මහතාගේත් ඉතා පියකරු සිනහවකට සහ ශාන්ත පෙනුමකට හිමිකම් කියන රේණුකා ගජසිංහ මහත්මියගේත් කඩවසම් පුත්‍රයාය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ වැඩිදුර හැදෑරීම සඳහා විදේශගත වූ ඔහු ලංකාවට පැමිණ සති කිහිපයකි.

"පුතා.... දැන් සති කීපයක්ම රෙස්ට් කරානේ, හෙට ඉඳන් බිස්නස් එකට ජොයින් වෙන්න දැන් මාත් මේවා ඔයාට බාර දීලා පැත්තකට වෙන්න ඕන කාලේ. නැද්ද රේණු?." ඒ ධීරජ්ව ඇමතූ ඔහුගේ පියාය.

"හරි හරි අප්පච්චි මං හෙට ඉඳන් එන්නම්". ඒ ධීරජ් ය.

"එහෙනම් පුතා හෙට මාත් එක්ක හෙඩ් ඔෆිස් එකටත් ගිහින් නුවර තියෙන අපේ ෂොප් එකටත් යමු" ප්‍රතාප් ගජසිංහ මහතා පැවසුවේය.

"හරි හරි දැන් එහෙනම් නිදාගන්න යමු හොඳටම රෑ වෙලා" ධීරජ්ගේ අම්මා පැවසීය.

මේ අතරේ රාත්‍රියේ නිදා ගැනීමට සැරසුණු අමායාගේ මව අමායාගේ කාමරයට ආවේ කාමරයේ විදුලි පහන තවමත් දැල්වෙන නිසාය.

"පුතේ නිදාගන්නේ නැද්ද ඔයා? මොකද මේ කරන්නේ කරන්නේ? ඇයි මේ පාපිසි අහන්නේ? "

" දැන් සල්ලිත් ටිකක් හිඟයිනේ අම්මේ මං මේ පාපිසි ටික හෙට උදේ කඩවලට අරන් යනවා"

"ඔයාට කොහෙන්ද පුතේ මේවට සල්ලි?"

"මේ රෙදි ටවුමෙ තොග කඩෙන් ලාබෙට ගන්න පුළුවන්.  තාත්තගේ පෙන්ෂන් එකෙන් සල්ලි ටිකක් ඉතුරු කරගෙන මං මේ රෙදි ටික ගත්තේ. අම්මා නිදාගන්නකො."

"ඔයා දුක් විඳිනවා පුතේ!" අම්මා අමායාගේ හිස අතගාමින් පැවසුවේ ඇසට නැගුණු කඳුළු පිසදාගනිමින්ය.

උදේම ඇහැරුණු අමායා උදෑසන ආහාරද සකසා, ලබන අවුරුද්දේ  උසස් පෙළ  විභාගය  ලියන නංගිද ඇයට උදව් කිරීමට සැරසෙද්දී පාසල් යවා පාපිසි කිහිපයක් ද රැගෙන පිටත් වුණේ ටවුන් එකට යාමටය. දහවල් වනතුරු කඩවලට ගොස් පාපිසි කිහිපයක් විකුණා ගත්තේ ඇගේ නිර්මාණශීලීත්වය නිසාම පාපිසි ඉතා අලංකාරව නිමවා තිබූ නිසාය. ආපසු නිවසට පැමිණි ඇය පාපිසිවලට අමතරව ටිකක් අලංකාර පෙනුමෙන් යුත් රෙදි කැබැල්ලක් ගෙන කුඩා ළදරු ඇඳුම් කිහිපයක් මැසුවේ දහවල් කුරුණෑගල දී D's fashion නම් නිමි ඇඳුම්හල දුටු විට සිතට නැගි සිතුවිල්ලකට අනුවය.

පසුදින උදෑසන එම ඇඳුම් කිහිපයද රැගෙන D's fashion වෙත ගිය අමායාව ධීරජ් දුටුවේ ඊයේ නුවර ගිහින් පසුදින කුරුණෑගල ශාඛාව වෙත පැමිණි නිසාය. කිසිවෙකුටත් සෙලවීමට නොහැකි වූ ධීරජ්ගේ සිත අමායා ඉදිරියේ සසල වුවත්  එය මොහොතකට අමතක කර පිය නැගුවේ මැනේජර් සමග කතා කරමින් සිටින අමායා අත වූ ඇඳුම්වල තිබූ අලංකාරත්වය නිසාමය.

"මිස්ටර් සිල්වා මොනවද මෙතන වෙන්නේ?"

ආහ් සර් මේ ළමයා බේබි ඩ්‍රෙසස් වගයක් ගෙනත් තියෙනවා. හරිම ලස්සනයි හැබැයි. ටිකක් යුනික් වගේ"

"හරි මම බලන්නම්." මෙසේ පවසා ඇඳුම් නිරීක්ෂණය කළ ධීරජ් අමායාව ඇමතුවේය..

"නංගිගේ නම මොකක්ද? ඔයාමද මේවා ඩිසයින් කරන්නේ?"

මම අමායා සර්. මමම තමයි ඩිසයින් කරලා මහන්නෙත්. මම ෆැෂන් ඩිසයිනින් කෝස් එකක් කරලා තියෙනවා සර්."

මෙසේ අමායා පිළිබඳ තොරතුරුත් දැනගත්  ධීරජ්  මැනේජර්ව අමතා පැවසුවේ ඔවුන්ගේ වෙළඳසැලෙන් රෙදි ලබාගෙන එම රෙදි වලින් ඇඳුම් මසා නිම කර ඔවුන්ටම ලබා දී එයින් මුදල් කොටසක් ඇයට ලැබෙන පරිදි ගිවිසුමක් සකස් කොට අත්සන් කරගෙන ඇයව පිටත් කරන ලෙසය. එදා අමායා ගෙදර ගියේ තටු ලද කිරිල්ලියක් මෙනි.

එයින් පසු ඇය නිර්මාණය කරන ඇඳුම් D's fashion and textiles වෙළඳසැල් ජලය හරහා රට පුරාම ව්‍යාප්ත වුණේ අමායාට මෙන්ම ව්‍යාපාරයටද ලාභ ලබාදෙමිනි. කාලයාගේ ඇවෑමෙන්  මෙතරම් කල් අම්මාගේ මහන මැෂිමෙන් ඇඳුම් මැසූ අමායා මැෂින් දෙක තුන වැඩි කර ගනිමින් නිවසේම ඇඟලුම්හලක් ආරම්භ කළේ උසස් පෙළ අවසන් කර සිටි නංගිගේද සහයෝගය ඇතිවය. එමෙන්ම ගමේ ගැහැණු ළමුන් කිහිප දෙනෙකුටම රැකියා අවස්ථා උදාකර දෙමිනි.

අවුරුදු තුනකට පමණ පසු මහන යන්ත්‍ර දොළහක් පමණ යොදා ගනිමින් නිවසේ තිබූ පුංචි ඇඟලුම්හල නගරයේ කුලී පදනම යටතේ ලබා ගත් කඩ කාමරයක් වෙත ගෙන ගියේ නිවසේ ඉඩකඩ මදි බව හැඟුණු නිසාවෙන් මෙන්ම ධීරජ්ගේ බල කිරීම නිසාමය.

මේ සියල්ලටම අමායාගේ පිටුපසින් සිට යෝධ සෙවනැල්ලක් වූයේ ධීරජ් ය. එයට හේතුව වූයේ මෙම කාලය තුළ ගනුදෙනු සඳහා D's Fashion and Textile  වෙත නිතර නිතර අමායාට යාමට සිදුවීමත් සමග ඇතිවූ සම්බන්ධකම මත නිරායාසයෙන්ම ඔවුන් පෙම්වතුන් වූ නිසාය.  ඒ දෙදෙනාගේම දෙමව්පියන්ගේ ආශිර්වාදයත් සමඟයි මේ වන වනවිට අමායාගේ මවද හෘද සැත්කමකින් පසු සුවය ලබා සිටියාය.

එයටත් අවුරුදු ගණනකට පසු අමායා ගාමන්ට්ස් නමින් ලංකාවේ නගර කිහිපයකම ඇඟලුම්හල් කිහිපයක් ආරම්භ කළේ අමායාගේ උත්සාහය සහ කැපවීම නිසාමය.

ඒ වන විට උසස් පෙළ වානිජ අංශයෙන් හදාරා ඉහළ ප්‍රතිඵලයක් සමගින් පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් අමායාගේ නැගණිය එම ඇඟලුම්හල් ජාලයේ කළමනාකාරවරිය වූයේ අමායාගේ පවුලට සතුට සැලසුම ලඟා කරමින් මෙන්ම ඔවුන්ගේ එකතුවීමත් සමඟ ධීරජ් ගේ පවුලේ  සතුටද ඉතිරිවමින්ය.

Popular posts from this blog