අසරණකම

අසරණකම

MAPT/21/B1/17 Vishwara

" පුතේ මං යනවා මල්ලි පරිස්සමෙන් බලාගන්න "

" අද කොහෙද වැඩ "

" සීල නැන්දලහ, එන්න පොඩ්ඩක් පරක්කු වෙයි. මල්ලි බලා ගන්න , මං එනකොට මොනව හරි කන්න ගේන්නම් "

" හ්ම්. තෙරුවන් සරණයි අම්මේ "

මල්ලි තවම නිදිය. ඊයේ දවසටම කන්න ලැබුනේ වේල් දෙකකි. ඒත් පොල් හා බතලය. හාමතේම නින්දට ගියේ කන්නට දෙයක් නොතිබූ නිසාය. දින දෙකකට තුනකට පසු කුලියක් ලැබූ නිසාම ඈ ඉක්මනින් පිටවීය. තාත්තාට අලියා ගැසූ දින සිට මල්ලි හා මා ජීවත් කරවීමට අම්මාට කුලී වැඩ කරන්නට සිදු විය.

" අයියේ බඩගිනියි, බත් බෙදලා "

ඔහුට තවම වයස අවුරුදු නවයකි. මට එකොළහකි. අම්මා කුලියට යන දිනවලට අපි තනිව නිවසේ සිටින්නෙමු. වළදේ ඇත්තේ බතල කෑලී දෙකකි. අම්මාද හිස් බඩින්ම යන්නට ඇත. මම මල්ලීට කැලී දෙකම බෙදුවෙමි.

" අපෝ අද උදේටත් බතලද, පොල් වත් නැද්ද "

" තිබ්බ පොල් බෑය තමයි ඊයේ කෑවේ "

" කෑ නොගහා ඕක කාල හිටහං "

කන්නට දෙයක් නොතිබූ නිසාම ඔහු බතල කෑවද එයට තිබූ අකැමැත්ත මුහුණේ තිබිණි.

" අයියේ බඩගිනියි බං "

හෝරාවක් ගතවූ පසු ඔහු නැවත මුමුණයි.

" දීපු එක කාල හිටපංකො, මං මුකුත් කාල නෑ, අම්මත් එහෙමයි. පුරුදු වෙයං ඉවසන්න "

මාද අසරණය. හිතින් හඩමින් මා බොරු කේන්තියක් ඔහු ඉදිරියේ පෙන්විය. හිස් බැල්මෙන් තවත් හෝරාවක් ගෙවුනි.

" අයියේ, බඩගිනි වැඩිවෙලා මං මැරෙයිද "

" දවසක් නොකෑව කියලා මිනිස්සු මැරෙන් නෑ බං, අම්මා එනකං හිටහං හොද එකා වගේ. කහට ඩිංගක් වක් කොරන්නවත් තේ කොළ නෑ "

" අයියේ, අම්මා එන්න ගොඩක් පරක්කු වෙයිද "

අම්මා එනවිට රෑ බෝ වන බව මල්ලීද දනී.

කරන්නට කිසිවක් නැත. හෝරා භාගයක් පමන කල්පනා කල විට අදහසක් සිතුණි. බුදුන් වැද අවසර ගත් මම තේ කෑල්ල මැදින් බණ්ඩාර මාමලාගේ ඉඩමට ගොඩ වුණෙමි. මල්ලිද පසු පසය. ටිකක් ඇවිදීමෙන් හොද ගණනට තිබුනු කුරුම්බා පොකුරක් නෙත ගැටිණි.

" මොකක් හරි කෙක්කක් හොයපං බලන්න, මට ගහේ නගින්න හුරු නෑ "

" කෙක්කක් නෑ අයියේ "

"පොඩ්ඩක් බලපියකො වටපිට, රෙද්ද"

" හරි , කෙකි ඕන් නෑ , වරෙං මෙහෙ මං කඩන්නං "

මහත් පරිශ්‍රමයක් දරා මම ගසට ගොඩ වුණෙමි. ගෙඩි දෙකක් පමණක් කැඩුවේ මල්ලිටත් මටත් එය ප්‍රමාණවත් වූ නිසාය.

" අයියේ, බණ්ඩාර මාමා එනවා ඉක්මනට බැහැපං "

" ඔහේ හිටපිය පොල් හොරු "

මම ඉක්මනට ගහෙන් බැස්සේ බණ්ඩාර මාමාගේ කෑ ගෑසීමටය.

" උඹ ඔය ගෙඩි දෙක අරං ගෙදර දුවපං, මං එනකං මේ පැත්තට එන්න එපා දැන් දුවපං, ඔයිං එකක් පරිස්සමෙන් පලං බීපං "

" මේ ගුණයගේ ලොකු එකා නේ, තෝ හොර ගෙඩියා තොපිට ගෙදර කන්න නැද්ද බොල, තොගේ මහ එකා නම් හොද එකා, කව්ද දන්නේ තෝ උගේද වෙන එකෙක්ගෙද කියලා, ජරා ගෑණි ලමයි හදන්න දන් නෑ මනුස්සයෝ විදියට, වතු පාලු කරන්න එනවා මෙතන, ගෙරි බල්ලංගෙන් අපිටනෙ කරදරේ, දඩාවතේ යන සත්තු "

තාත්තාගේ හත් දවසේ දානේ ඉවර වී දින දෙකකට පසු රෑක දොරට තට්ටු කරන සද්දයක් මට අඩ නින්දේ සිටියදී ඇසිණි.

" අනේ බණ්ඩාර අයියේ කිව්වම අහපංකෝ, උඹ හිතනවා වගේ ජරා ගෑනියෙක් නෙමේ බං මම, අපිට පාඩුවේ ඉන්න දීලා පලයං "

" බැල්ලි තෝ එහෙමද එහෙනම්, බලාගපු අපි කව්ද තොගේ පැලට රිංගන කෙරුම්කාරය කියලා "

" සහගහන කතා කියන්න එපා අයියේ "

කිසිවක් නොතේරුනද අම්මා හා බණ්ඩාර මාමා අමනාප වූ බව වැටහිණි. එය මතක් වූයේ දැන්‍ ය. පොල් කීරක් කකුලෙ මස් ගොබයක් විනිවිද ගොස් තිබිණි. වේදනාව පසෙකලා මම එය ඇද දැමුවෙමි.

" තෝ මොකො බොල හොර පොල් කඩන්නේ "

" මා........මේ .... මං "

හෙණ පුපුරන්නාක් මෙන් කනේ පහරක් වැදිණි.කිසි දිනෙක කිසිවෙකුගෙන් වත් මා මෙසේ ගුටී කා නොතිබිනි.

" හිටපිය මම තෝ අද ගස් බදින්න "

" මා ...... මේ "

තවත් කනේ පහරක් වැදිණි. සිහිය එනවිට මා සිටියේ කුරුම්බා ගසේ ගැට ගසාය. දෑත පිටුපසට කර ගසට ගැට ගසා තිබූ අතර කකුල් දෙකද සිර වෙන සේ ගැට ගසා තිබුනේ සෙල්වීමටවටත් නොහැකි වන ලෙසය.

බණ්ඩාර මාමා පෙනෙන්නට සිටියේ නැත.

" අයියේ උඹට ගැහුවද "

" නෑ, උඹ තැඹිලි බිව්වද "

" උඹ නැතුව බොන්න පුලුවන්ද "

" බඩගිනියි කිව්වේ බොරුවටද "

" නෑ, ඇත්තට, ඒත් ඊට වඩා උඹට බඩගිනි ඇති, මං උඹව ලිහන්නද "

" එපා ඊට පස්සෙ ගෙදරට ඒවි හොයාගෙන, උඹත් අහු උනොත් කව්ද අම්මා බලා ගන්නේ, අනික අම්මා දැන ගත්තොත් දුක හිතෙයි, ඒක හින්දා මාමා එන්න කලිං පලයං, හොද එකා වගේ ගෙඩියක් උඹ බීපං, මං ගෙදර එනකං උඹ එන්න එපා, දෙන්නම අහු උනොත් ඉවරයි "

" කම්මුල ඉදිමිලා උඹට ගැහුවද, ඇත්ත කියපං "

" පාරක් ගහන්න ඇති "

" අයියේ බණ්ඩාර මාමා උඹව මරයිද "

" පිස්සුද උඹට "

" මැරුවොත් "

" උඹ අම්මව බලා ගනිං, තෝ මෙතන ඉදලා තෝත් මැරුවොත් අම්මා පව්, ඒක හින්දා දුවපිය ඉක්මනට ගෙදර "

මල්ලි මට වඩා අම්මට ආදරේ බව මා දනිමි. අම්මා ගැන කියා ඔහුව පිටත් කර හැරීමට මට හැකි විය.

" තෝ ආයේ හොරකං නොකරන්න දෙන්නම් තොට යස දඩුවමක් "

එසේ පැවසූ ඔහු ලේන්සුවකින් මගේ කට බැන්දේය. දිමි ගොටු දෙකක් මගේ ඇගට දැම්මේය. යටිගිරියෙන් මතුවන වේදනාවේ විලාපය ලේන්සුව නිසා කිසි වෙකුටත් නො ඇසිණි. බණ්ඩාර මාමා පිටත් විය. හිස් බඩින්ම ගිනි ගහන අව්වේ දිමියන් සමග මා සිටියේය. හෝරාවක් ගත වූ තැන බණ්ඩාර මාමා නැවත පැමිණියේය.

" තොට කියලා තියෙනො වැඩක් කොරව ගන්න, තෝ හිකනලා වගේ පැනලා යන්න හදනෝ නෙමෙයි "

" මොකද්ද කරන්න තියෙන්නේ "

" කට වහං වර "

බැද තීබු බැමි ලිහිල් කර ගසෙන් මා මුදවා ගත්තද අත්දෙක පිටුපසට කර ගැට ගසා තිබූ ගැටය ලිහා නොතිබිණි. එබැවින් මා ගියේද අසීරුවෙන්ය. ඔහුගේ ශක්තිමත් එක් දෑතක් මාගේ ගෙල තද කර තිබූ බැවින් එය වඩාත් අපහසු විය.

" තෝ අද පොලිසී අරං යනෝ, ලෑස්ති වෙයං හිරබත් කන්න. "

" අනේ පොලීසියට නම් එක්ක යන්න එපා, අනේ වදින්නම් මාමේ, කියන ඕන දෙයක් කරන්නම් "

" කට වහපං, හොරකං කරලා කියවන්නත් එනෝ "

සටපට ගා තවත් කනේ පහර දෙකක් වැදුණි. මළකදක් සේ පාවෙන සිරුර ඔහුගේ තල්ලුවෙන් පොල් වත්තට ඇතුළු විය.

" තෝ ගස් දහයක් පොල් කඩල දියං මට, නැත්තම් මහ ගෑනියි තොගේ අනිත් ඇටකිච්චයි තුන්දෙනාම කූඩු කරලයි මම පස්ස බලන්නේ "

"දහයක නම් අමාරුයි මහත්තයා, මම ගස් දෙකක කඩල දෙන්නම් මට යන්න දෙන්න "

මදුරුවන් තලන්නට මෙන් හේ දෑත් විසි කරයි. හෙන පුපුරන්නාක් මෙන් තවත් කනේ පහර දෙක තුනක්ම වැදුණි. එක් කණක් නොඇසෙන බව මට දැනිණි. කතා කිරීමෙන් ඵලක් නොවන තැන, නිදහස් වනතෙක් මා ඔහුට අවනත වීමට සිතා ගත්තෙමි.

ගස් නගින්නට පුරුද්දක් නොතිබුනද වෙන කරන්නට දෙයක් නොතිබූ නිසා මම උසම උස පොල් ගසකට නැග්ගෙමි.

"ඊලඟ එකටත් ඵල"

 "අනේ මාමේ දැං යන්න දෙන්න"

"කොහෙ යන්නද බොල තෝ ඇච්චා කිව්ව දේ කරපං"

අත මිටිකර පිට මැදට එල්ලවූ පහරින් මා විසිවිණි. පොල්කීර ඇණුනු කකුලෙන් අධික වේදනාවක් දැණිනි. නිරුවත් උඩුකය ගසේ ඇතිල්ලීමෙන් පපුවේ උඩු හම හීරී ගොස් දැඩී වේදනාවක් දැනෙන්නට විය. මිහිපිට අපායක ජීවත් වෙන්නාක්  මෙන් මට දැණිනි. විනාඩි තුන හතරක් ගෙවිණි.

"කෝ ඉක්මනට නැගිටපං"

පොල් කැඩීමට ගසකට එකසිය පනහක් දෙසීයක් ගෙවයි. මටද ගසකට රුපියල් සියයක් බැගින් දුන්නොත් මල්ලිට මොනවා හරි කන්නද අර ගත හැකිය.

"මාමේ සල්ලි කීයක් වත් දෙනවද"

"සල්ලි නේමේ තොට දෙන්නේ මම"

ඔලුවට වැදුනේ තඩි ටොකු පහරකි. අමාරුවෙන් තුන්වෙනි ගසටද ගොඩ වූයේ ගුටි කා මියැදීමට නොහැකි තැනය. දුප්පත් මිනිස්සුන්ට කවදාවත් බඩගිනි දැනෙන්න එපා . ජීවයක් නැති සිරුර මලකදක් සේ ගස උඩය.

මට පොල් අත්ත අත හැරිණි. තත්පරයක් දෙකක් පා වෙන්නාක් මෙන් දැනිණි. කුළු ගෙඩි පහරක් වැදුනාක් මෙන් දැණුනේ ඔලු ගෙඩිය ගලක වදිද්දීය. ලේ ගලා යනු මට දැනිණි.

"කොලුවෝ"

බණ්ඩාර මාමාගෙ බියකරු රළු මුහුන මට පෙණිනි. අම්මාද මල්ලිද හොදින් බලා ගන්නට බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලමින් මම අවසන් හුස්ම හෙළුවෙමි.

නිමි

Popular posts from this blog