පැන යාම

 

පැන යාම

MAPT/21/B1/04 G. W. A Therushi Thishara

" පොඩි අවදියේ අම්මා බැඳි කිරි පබළු

දැන් දමනවා යකඩින් සැදූ වළලූ

දෛවය මෙමට කරනා සරදම් විහිලූ

සැමදා මෙමට උරුමද මේ දුක් කඳුළු "

සඳ අවරට ගොස් හිරු මෝදු වන විට නැගෙන පළමු හිරු කිරණම සිප ගැනීමට මෙන් බන්ධනාගාර බිත්තියේ රැඳවියන් විසින් ලියූ කවි මග බලා සිටි. අනේක විද දුක් දෝමනස්ස වලට ඇහුම්කන් දෙන්නෙකු මෙන් බිත්තිවල ඇති කවි හිරු එළියෙන් දිලිසීමට පටන් ගනියි.

                    "හැමෝම එලියට....

                     තම තමන්ගේ වැඩ වලට...."

හිරු කිරණ බිත්තිවලට වැටෙනවාත් සමඟම ලැබෙන අණක් ක්‍රියාත්මක කරන්නෙකු මෙන් ජේලර් වරයාගේ හඬ බන්ධනාගාර බිත්ති දෝංකාර දීමට පටන් ගනියි. එයින් සැනෙකින් හිර කූඩුවලින් එළියට එන සිරකරුවන් ඔහේ තම හිස නමාගත් ගමනින් සහ හිස් බැල්මකින් යුතුව වතුර ඇදීම, පොල්ලෙලි තැලීම කටයුතු පටන් ගනියි.

                    " මේ පොල්ලෙළි තැලීමේ කෙළවරක් නෑ. අත්දෙකම ලෙලි ගිහිල්ලා "

හිමිට තමාටම මුමුණා ගනිමින් පොල්ලෙළි තලන සමන්ත වැරෙන් හුස්මක් උඩට ඇද ඉතා අමාරුවෙන් එය පහළට දමා ගත්තේය. බලා ගත් හිස් බැල්මකින් යුතුව පොල් ලෙළි තලන වේගයට ඔහුට තම අතීතය මතක් වෙන්නට පටන් ගැනිණ.

වන විට 23 වන වියේ පසු වූ සමන්තගේ මව වෙනත් මිනිහෙකු ගෙට ගෙන ආවේ තම පියා අන්ත්‍රා වී සති හතරක් හෝ පහක් ගතවනවාත් සමඟය. සමන්වලීගේ වයස යන්තම් දාසය පිරුණා විතරය. මිනිහා නිතරම බීගන්නා එකෙකු බව තේරෙන්නට අම්මාටද වැඩි කල් ගියේ නැත. දවස ගතවන විට බීගත් ගමන්ම හවසට ගෙදර එන බාප්පා අම්මාට හොඳටම තලන්නට පටන් ගත්තා විතරක් නොව නංගිටද බලහත්කාරකම් කරන්නට පටන් ගත්තාය. නංගි කීප විටක්ම මෙය කියා තිබුණෙන් ආයෙත් නංගිට

කිට්ටුවීමට හදන අවස්ථාවක් බලා ගෙදර පිළිකන්නේ වංගෙඩිය ළඟ තිබූ මෝල්ගහෙන් මිනිහාගේ ඔලුව කුඩු වූයේ ක්ෂණයකින් අදහසකිනි.

                     " උඹ පොල්ලෙල්ලට රිදෙනවටද බොල ඔහොම ගහන්නේ "

ජේලර්ගේ කටහඬින් තිගැස්සී පියවි සිහියට පැමිණි සමන්ත නැවතත් පෙර වේග රිද්මයටම පොල්ලෙළි තලන්නට විය.

                    " අඳුර තමයි අපේ ඇඟපත ගිනි නිවන්න දෙවියන් එව්වේ....."

හිර අවරට ගොස් සඳ නැවතත් මෝදු වන තෙක් බලාගෙන සිටින බන්ධනාගාරයේ ජීවිතවල එකම සැනසීම අඳුරය. ඇස් දෙක පියාගන්නට ඇත්නම් එයම ඇතිය. තම සිරකාමරයේ සිර වූ සමන්තට ගතේ රිදුම්වල වේදනාවල් පරයා සිතේ රිදුම් වේදනාවල් දැනෙන්නට විය.

                    " උඹේ ඔය බෙලෙක්ක කෑල්ලෙන්නම් ජීවිත කාලෙම ඕක හාරන්න වෙයි "

බාප්පා මැරූ වරදට ජීවිතාන්තය තෙක් සිරබත් කන්නට වූ සමන්තට මෙයින් පලායාමට සිතනවා හැර වෙනත් දෙයක් නැත. සිර කූඩුවේ අනෙක් කෙළවර සිටියේ ජීවිතයෙන් අඩක් සිරගයටම කැප කළ උදාර සිරකරුවෙකි. සමන්තට අනුව ඔහු උදාර සිරකරුවෙකි. එනම් මෙපමණ කාලයක් සිරේ සිටීමට සමන්තට  සිත සාදා ගත නොහැකිය. සමන්තට අවශ්‍ය මෙයින් කෙසේ හෝ පැනයාමටය. මේ වයසක මිනිහා සිරගය තුළම මරණයට හිත හදාගෙන අවසන්ය. එබැවින් ඔහු සමන්ත බෙලෙක් තහඩුවකින් සිරගෙදර බිත්තිය හාරන සැටි බලා සිටියේය.

සිරගෙය තුළ මහා දිග හෝරාවල් ගතවෙමින් පැවතිණි. දැන් සමන්ත සිරගෙදරට පැමිණ මේ සිරබත් කන්නේ දහවෙනි අවුරුද්දටය. තවමත් සිරගෙදරින් පැනයාමේ උත්සාහය අත් නොහැරි සමන්ත ගෙවී ගිය බෙළෙක්ක කෑල්ලෙන් වසර දහයක්ම ගතවන තුරු උමගක් හාරා තිබුණි. මේ තරුණ කොලුවාගේ උත්සාහය දැක සිරගෙය තුලම මැරීමට තීරණය කර තිබූ මහල්ලාටද දැන්නම් එළියේ ඇති වාතාශ්‍රයට තම අවසන් හුස්ම මුදා හැරීමට ආශාවක් ඇති වී ඇත.

බන්ධනාගාරයේ සිරකරුවකුට ඇති එකම සැපත වූ නින්ද අනෙක් සියල්ලෝම ගිලගෙන ඇති එක් රැයක සමන්ත තමාගේ පැනයාමේ උමග හිමින් හිමින් හාරන්නට විය. එළිවෙන ජාමයේ සිර කූඩුව වෙත පැමිණෙන සමන්තට දැක ගත හැකි වූයේ තමාත් සමඟ එකටම සිටි තම සිරගෙයි සගයා වූ වයසක මිනිහා මැරී ඇති ආකාරයයි.

එළිවන විට ජේලර්වරයා මිනිය බලා මැරී ඇති බව තහවුරු කරගත් පසු ඔහුව සුදු රෙද්දකින් වසා දමන ලෙස අණ කළේය.

                     " අද දවල්ට මේ මිනිය යවනවා එළියට වල දාන්න..."

එසේ කියූ ජේලර්වරයා එතනින් ඉවත්ව ගිය පසු සමන්ත සුපුරුදු පරිදි දහවල් කාලයේ පොල්ලෙළි තලන්නට පටන් ගැනුණි.

                    " මටත් වෙන්නේ කවදා හරි මැරෙනකම්ම මේකෙම ඉන්න තමයි "

ජීවත්ව සිටියදීම තමාගේ ජීවිතය පිළිබඳ ආශාවක් නොමැති වීමමය මිනිහෙකුට ඇති ලොකුම අහිමිවීම. සිරකරුවකුට මෙය පොදුය. විශේෂයෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවම් හිමිවූ සිරකරුවකුට මෙය පොදුය. පැනයාමේ බලාපොරොත්තු බිඳ වැටුණු සමන්ත නැවතත් රෑ වන විට තමාගේ අපාගුලට පැමිණෙන විටත් දැකගත හැකි වූයේ අර වයසක මිනිහා ගෙන ගොස් නැතුව තවමත් තිබෙන බවය.

                    " මහත්තයෝ මේ සීයගේ මිනිය අරගෙන යන්නේ නැද්ද? "

එතැනින් යමින් සිටි ජේලර්වරයෙකුගෙන් සමන්ත බයෙන් බයෙන් මෙන් හිමීට ඇසීය.

                     " ඕක අද අරන් යන්න බැරි වුණා හෙට උදේට තමයි අරන් යන්න වෙන්නේ "

එසේ කියූ ජේලර්වරයා එදෙසවත් නොබලාම එතනින් ගියේය.

අයිනක ඇන ගසා ගත් සමන්ත කල්පනා කරන්නට විය. මුළු රෑම සිරකූඩුවේ අයිනට වී කල්පනා කරන්නට විය. අවසානයේ ඔහු තීරණයක් ගෙන එළිවන්නට ඔන්න මෙන්න තියා අර සීයාගේ මිනිය උමගෙන් තබා සඟවා මිනිය තිබූ තැන දිහා දිගාවී සුදු රෙදි කැබැල්ලෙන් වසා තිබූ ආකාරයටම හිඳින්නට විය.

සුපුරුදු පරිදිම බන්ධනාගාර බිත්ති සුපුරුදු හිරු කිරණ සිප ගන්නවාත් සමගම සිර කූඩුව ළඟට පැමිණි සේවකයින් දෙදෙනා මිනිය තිබූ ආකාරයටම බැඳ ටොලියක තබා රැගෙන ගියේය. ඔවුන් එය කෙලින්ම ගෙන ගියේ මුහුද මැදකටය.

                         " එකායි.... දෙකායි... තුනායි....

තුන් වතාවක් දෙපැත්තට පැද්දවූ ඔවුන් හොඳටම ගැටගසා තිබූ මිනිය මුහුදට විසික් කර දැම්මේය.

නිමි!

Popular posts from this blog