දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...

 දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...

MAPT/21/B1/06 S.W.M.Kevindry

අනේ බුදු මහත්තයෝ මගේ කෙල්ල බේරලා දෙන්ට, මහත්තයාට  බුදු බව අත්වෙයි. මට ඉන්නේ ඔච්චරයි. බුදු මහත්තයෝ  "

වටපිටාවේ තිබුණු ශබ්ද සියල්ල පරයමින් සිරිමෙවන්ගේ කටහඬ එක්කම අඳෝනාව  ඉහළටම නැගී තිබුණා.

"පොඩ්ඩක් ඉඩ දෙන්න තාත්තා, අපි උත්සාහ කරනවනේ. දරුවාව බේරගන්න අවශ්‍ය කටයුතු අපි උපරිමයෙන් උත්සාහ කරලා කරනවා"

වෛද්‍ය නිලධාරි ඉශාන් සතරසිංහ  ඔපරේෂන් තියටර් එකේ දොර ළඟදි සිරිමෙවන්ගේ අත අල්ලාගෙන කීව හින්දම ඔහුගේ හිතට යම් අස්වැසිල්ලක් ලැබුණ.හැමෝගෙම ඇස් වලට කඳුළු නැගුනේ සිරිමෙවන් දොර ළඟ හිඳගෙන හඬා වැටුණු අයුරු දුටු හින්දමයි.

කාලය ගෙවී ගියේ ඇසිල්ලක නිමේෂයෙන්. තියටර් එකේ දොරට ඉහළින් තිබූ රතුපාට මලානික බල්බය එකවරම නිවී ගියේ සිරි මෙවන් බලාගෙන සිටියදීමයි..

" මගේ කෙල්ල"

ඔහු හෙමින්  මිමිනු අයුරු ඒ අසල සිටිය වුන්ගේ නෙත ගැටුණා.

ටික වෙලාවකින් දිව්‍යාංජලී වාට්ටුවට ගෙන ගියත් සිහියක් පතක් තිබුණේ නැති තරම්. සිරිමෙවන් කෙල්ලව අරන් ගිය ට්‍රොලිය පසුපස වාට්ටුවට දිව ගියා.

" මේ මේ ගෑනු ළමයෙක් නේ. ඔය තාත්තට ළඟ නවතින්න බෑ .ඔයා ගිහින් අම්මා හරි කවුරුහරි ගෑණු කෙනෙක්ව හරි එවන්න ".

 වාට්ටුවේ හිටපු මිසී කෙනෙක් සිරිමෙවන්ට එහෙම කීවා..

"  මගේ කෙල්ලට අම්මා නෑ  මිසී ,ඒකිට ඉන්න මං විතරයි. ඒ හින්දා  මං බලාගන්නම් ඒකිව.

සිරි මෙවන් බැගෑපත් වුණා.

 "පිස්සුද තාත්තා එහෙම නවතින්න අවසර දෙන්න බෑ. එහෙනම් අපි දුවව බලා ගන්නම් තාත්තා දැන් ගෙදර යන්න?"

ටිකට් එක අතට ගත් වාට්ටුව භාර මිසී එහෙම  කියාගෙන ගියා..

" කෙල්ල නැතුව මට ගෙදරට වෙලා ඉන්ට බෑ දෙයියනේ, මං එළියට වෙලා හරි ඉන්ටද?"

සිරිමෙවන්ගේ ඇවිටිල්ල දෙස සානුකම්පිතව බැලූ කාර්්‍ය මණ්ඩලය ඔහුට වාට්ටුවේ දොර අසල ඇති බංකුවේ නැවතීමටත් අවශ්‍යතාවය අනුව ඇතුළට පැමිණීමටත් අවසර ලබා දුන්නා...

...................................................................................................................................................

දින කීපයකින් දිව්‍යංජලිට සනීප වුණා. රිය අනතුරෙන් සිදුවූ අත් කකුල් වල  තුවාල වල බැන්ඩේජ් පටි හිමීට ගැලවුණා. තුවාල ටිකෙන් ටික සනීප වුණා. ඉස්සර වාගේම හිනාවෙලා කතා කරන්න දිව්‍යාංජලී පුරුදු වුණා.දින සති වලින් දවස් ගෙවෙද්දී දිව්‍යංජලීට ගෙදර යන්න අවස්ථාව ලැබුණා. සති දෙකකට සැරයක් දිව්‍යාංජලීව සායනයට රැගෙන එන්නට නියම වුණා.. එහෙම යන්න ඕන දවසට සිරි මෙවන් දිව්‍යාංජලීවත් දරාගෙන පුස්බයිසිකලේ පැදගෙන යන හැටි දුටු ගම්මුන්, 

 "කෙල්ලව ගොඩදාගන්න දඟලපු දඟලිල්ලක්"  කීවා මිසක ඔහුට විරුද්ධව වචනයක්වත් පාවිච්චි කළේ නැති තරම්.........................................................................................................................

 

සිරිමෙවන් හතළිස් පස් වියේ පසුවන එක්දරු පියෙකි. පෙරදී ආරක්ෂක රැකියාවක නියැලුණත් කාලයාගේ ඇවෑමෙන් ඔහු දැන් ගොවියකු බවට පත්වී හමාරය.

ගීතාංජලී, සිරිමෙවන්ට මුණගැසුනේ මීට අවුරුදු දහයකට පෙරදී, ඇය බැංකු සහයක නිලධාරිනියක් රැකියාවෙන් ස්ථිර වන්නටත් ප්‍රථම සිරිමෙවන් හා ආදර සම්බන්ධතාවයක පැටලුණු ගීතාංජලී  දෙමාපියන්ගේ අකමැත්තෙන් වුවත් සිරිමෙවන්ගේ කැදැල්ලට පැමිණියා.එහෙත් කාළය ගෙවී ගොස්  පස් අවුරුද්දක් යනතුරු දරු සුරතල් බැලීමට ඉඩක් නොලද නිසාම  ලංකාව පුරා තිබූ පන්සල් පල්ලි කෝවිල් වලට  ගියේ දරුවකු ලබා ගැනීමේ අදිටනින් ය.

කරකියාගත හැකි දෙයක්  නොවුණ තැන දුක් වෙවී අවුරුදු පහක් ගත වී ගිය තැනදී ගීතාංජලී මවක් වන ලකුණු පහළ වූයේ දෙදෙනාම පුදුමයට පත්කරමිනි. ගීතාංජලිි ආස කරන හැමදේම සිරිමෙවන් පුළුවන් විදිහට ගෙනත් දුන්නා. ගීතාංජලීට  අතපය හොලවලා වැඩක් කරන්නවත් සිරිමෙවන් ඉඩක් දුන්නේ නෑ.

ඒත් වෛද්‍යවරුන්ගේ මතය වුණේ ගීතාංජලී එන්න එන්නම දුර්වල තත්ත්වයකට පත්වන බවයි.එක තැනකදී ඇයට තම ජීවිතය හෝ දරුවගේ ජීවිතය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුවුණා. ඇය තම ජීවිතය වෙනුවට තම දරුවාගේ ජීවිතය තෝරාගන්නේ සිරිමෙවන්ගේ සතුට නැති කිරීමට නොහැකි නිසාමයි. මේ කිසිවක් සිරිමෙවන් දැනගෙන හිටියේ නැහැ.අවසාන මොහොත වන විටත් ඔහු සිතුවේ දරුවාත් සිය බිරිඳත් දෙදෙනාම නිරෝගී සුවයෙන් ඇති බවයි.ගීතාංජලිට ප්‍රසූත වේදනා ඇති  වූවත් දරුවා බිහි කිරීමට නොහැකි බව ඇය කලින් දැන සිටියා.යන්තම් අපහසුවක් දැනෙද්දිම රෝහල් ගතවීමට අවශ්‍ය බව සිරිමෙවන්ට දන්වා සිටියේ ඒ නිසයි.සිරිමෙවන්යව රෝහල වෙත ගෙන ගියත් අවසානයේ ඔහුටද තීරණයක් ගැනීමට සිදුවුණා.තම දරුවාද බිරිඳ ද දෙදෙනාගෙන් එක් අයකු බේරා ගැනීමට තමන්ටද අත්සනක් දැමීමට සිදුවන බව සිරිමෙවන් කිසිම දිනයක සිතන්නට වේ යැයි නොසිතන්න ඇති.ඔහු තම දරුවාගේ ආශාව අතහැර  දමා තම බිරිඳව තෝරා ගත්තා. එහෙත් ගීතාංජලිි තම දරුවාව මේ ලෝකෙට උපද්දවන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. අවසානයේ සුදු බෝල කෙල්ලෙක්.සිරිමෙවන්ගේ අතින් තබා දිව්‍යාංජලි අවසන් ගමන් ගිහින් තිබුණා..

එදා පටන් අම්මගෙත් තාත්තගෙන් දෙන්නගෙම රාජකාරියක් සිරිමෙවන්ට හිමිවෙලා තිබුණා.ලේ කිරි කර නොදුන්නත් කෙල්ලට අම්මා වුනෙත් තාත්තා වුනෙත් සිරිමෙවන් විතරමයි.පිටි කිරි හුරු කරගත්තත් කෙල්ලගේ ඇඬුම් නවත්ත ගන්න ගිය සිරිමෙවන් අඬපු නැති වෙලාවක් නැති තරම්.

 තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම අරගත් සිරිමෙවන් අවට ඉඩම් මිලදී ගත්තා..ඒවා වගා කළා.. හැමදෙයක් ගැනම  බලන්න පටන් ගත්තේ කෙලි පොඩිත්තිව ළඟ තියාගෙන,දවසින් දවස දුව පැන යන හැටි ඇවිදින හැටි පුංචි කථා කියවන හැටි සිරිමෙවන් හොඳින්ම දැනගෙන හිටියා.  ගැහැණු දරුවකු රැක බලා ගැනීම ඉතා භාරදූර කාර්යයක් වුවත් සිරිමෙවන් ඉන් ජය ලබාගෙන තිබුණේ තනිවමයි..

කටින් කට අනලා කවන බත් කටවල් වල, හැන්දාවට කරේ තියන් පොල් ඕවිටේ දුවන වෙලාවල් වල වගේම සිරිමෙවන්ගේ ඇඟෙන් පිටවන හැම දාඩිය බිංදුවකම ලියලා තිබුණේ මවගේ පියාගේ දෙන්නාගෙම ආදරයයි....

 

සසර කඩයිම් ජය ලබන්නට

හිනාවක් මුවගට ගෙනෙන්නට

ලෝකයේ දුර හැඩ බලන්නට

 දුවෙක් ඕනෙම තාත්තෙකු හට...


හිනාවෙන් තම මුව පුරන්නී

ආල වට්ටම්  හැඩ කරන්නී

නොමග මග තොරතුරු සොයන්නී

දුවෙක් පහනකි එලිය දෙන්නී..”

Popular posts from this blog