දින පොතක්

 දින පොතක්

MAPAT/21/B1/12 K.D.D.P Kumarage

"ගුඩ් මෝර්නින් ප්‍රොෆෙස කොඩිතුවක්කු.............එන්න ඇතුලට.මම පොඩ්ඩක් ලේට් උනා දන්නෙ නැද්ද ඉතිං පාරෙ ට්‍රැෆික්නේ............."ප්‍රියමනාප සිනාවකින් සංග්‍රහ කරමින් මාව ඇතුළට කැදවාගෙන ගිය  මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ පීඨාධිපතිතුමා සුවපහසු අසුනක් පෙන්වා ඉදගන්න යැයි පැවසුවේ ඒ මොහොතේදී ම ලද උණු උණු තේ කෝප්පයක රස බැලීමට ද ආරාධනා කරමිනි.

 

" ප්‍රොෆෙස කොඩිතුවක්කු දැන් කීප සැරයකම මගෙ ආරාධනාව ප්‍රතික්ශ්‍රේප කරානේ.මේ පාරවත් බැරි වෙයිද මම කරපු යෝජනාව ගැන සලකලා බලන්න.තමන් ඉගෙන ගත්ත තැනට මෙහෙම සේවයක් කරන්න ලැබෙන එකම ඉතිං ලොකු දෙයක්නේ....මොකො කැමති නැද්ද කැම්පස් එකට වැඩක් කරන්න......"පීඨාධිපති තුමා තියුණු බැල්මක් මා වෙත යොමු කරමින් පැවසුවේය..

 

"එහෙම අකමැත්තක් නිසා නෙමෙ ෆොෆෙස.මම ඉතිං ඉස්සරත් මේකේ ඉගැන්නුවනේ..ඒත්  දැන් අවුරුදු පහ හයක්ම  මම බිසී ශෙඩුල් එකක හිටියෙ ...දැන් තමා ඉතිං ඉතිං ටිකක් හරි  ෆ්‍රී උනේ .. ඔබතුමා කියන නිසාම ඉතිං මම ටයිම් මැනේජ් කරගන්න බලන්නම් විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහටවත් එන්න.."

 

පීඨාධිපතිතුමාගේ මුහුණ ජයග්‍රාහී සිනාවකින් පිරෙන්නට විය.

"එහෙනම් ඉතිං අපි ලබන මාසෙ අලුත් සෙමෙස්ට එකෙදි හම්බෙමු.මම ඩිපාට්මන්ට් හෙඩ්ටත් ඉන්ෆෝම් කරන්නම්.එයා ඔයාව කන්ටැක් කරන් විස්තර දෙයි"

 

පීඨාධිපතිතුමා වෙත සමුදුන් මා පීඨ  කාර්යාලයෙන් පිටතට පැමිණෙද්දී ම මාගේ ඇස ගැටුනේ මීට වසර කිහිපයකට සිසුන්ව සිටි අවදියේ  පෙර විවිධ ඉල්ලිම් ඉල්ලමින් උද්ශෝෂණ සිදු කළ ඒ පිවිසුම් දොරටුවයි.සෝපානයෙන් යෑම අතහැර දමමින් විසි වියැති තරුණ කොලු ගැටයෙකු ලෙසින් පිවිසුම් දොරටුවෙන් පිටත පඩිපෙළ බසිමින්  පහළට යද්දී ඊළගට  මාගේ නෙත ගැටුනේ  ඩිපාට්මන්ට් ඔෆ් මාස් කොමියුනිකේශන් ලෙස සදහන් නාම පුවරුවයි.වැකේශන් හේතුවෙන් වසා තිබුණත් එදා මෙන්ම කිසිදු වෙනසක් නොමැති මේ මීඩීයා ඩිපාට්මන්ට් එක  පිටිසර ගමක පුංචි දුප්පත් කොලු ගැටයෙක් ජාතික ජාත්‍යන්තර සම්මානලාභී නිවේදකයෙකු,මහාචාර්යවරයෙකු බවට පත් කළ ඒ අතීතය මතක් වෙද්දී මට මා ගැන මෙන්ම මේ ඩිපාට්මන්ට් එක පිළිබඳවද හදවතින්ම අභිමානයක් දැනෙන්නට විය.නැවතත් සුපුරුදු නවාතැන බවට පත් විමට නියමිත ඒ

මීඩීයා ඩිපාට්මන්ට් එක පසුකර නැවත පඩිපෙළ වෙත යද්දී පෙර පුරුද්දට මෙන් ආපසු හැරුණු මගේ දෑස් දිව ගියේ මීඩියා ඩිපාට්මන්ට් එක ඉදිරිපස ඇති ඩිපාට්මන්ට් ඔෆ් සිංහල නාම පුවරුව වෙතයි.ඒ සමගම නිරායාසයෙන්ම ඒ අසල කොරිඩෝවෙහි වූ බංකුව වෙතට මාගේ පාද එසවෙන්නට විය.

සුදු පැහැය ආලේපිත  බංකුවේ තැනින් තැන පොතු ගැලවී ගොස් ඇති අතර  ඒ අතරින් මලකඩ කෑ කොටස් එලියට නිරාවරණය වී ඇත.හුරුපුරුදු ලෙසින් පෙර පරිදි බංකුවට බර දී ඉදගනිද්දිම "චිරි චිරි " ගාමින් බංකුවෙන් හඩක් නැගුනේ බංකුවෙ පැරණි බව බවට වඩා හුරුපුරුදු මා හදුනාගත් නිසායැයි මට හැගුණි.ඉදිරිපසින් පෙනෙන  අරලිය ගස් යාය වෙනදා මෙන්ම සිහින් සිනාවක් පෑවේ පිපෙන මල් වලට අයිතියක් දුන් ඒ අතීතයට මා රැගෙන යමිනි.

අනුරාධපුර දුශ්කර පුංචි ගමකින් ආපු මට මේ කලබලකාරී කොළඹ මුලදි හරිම නුපුරුදුයි.ගම පුරාම දකින දකින මිනිස්සු හිනා වෙලා කතාකරද්දී කොළඹ හැමෝම තම තමන්ගේ වැඩ එක්ක අනෙකා ගැනවත් නොදන්න තරමට කාර්යබහුල වුණා.මට එයාව මුලින්ම දකින්න ලැබුණෙ එහෙම දවසක.එදා වැහි බීරමකුත් එක්කම මුළු පරිසරයම අදුරු වෙලා වැස්සක පෙරනිමිති තිබුණු එදාත් මම හිටියෙ අද වගේම  මේ බංකුවේ ඉදගෙන වැස්සට පෙර එන ඒ සුළගට අරලිය ගස් යාය සෙලවෙන දෙස බලමින්.බිංදු බිංදු ඇදහැලෙමින් මහා ධාරානිපාත වර්ශාවක් එක පාරටම කඩා හැලෙන්නට විය.මේ මහා වර්ශාව මැද ප්‍රධාන දොරටුවෙන් කොරිඩෝව දෙසට ඇය දිව ආවේ මහ වැස්සෙන් බේරීමේ අරමුණෙනි.පුංචි රතු මල් වැටුණු සුදු පැහැති ඇගේ දිගු ගවුමෙහි පහල කොටස  වැහි වතුරෙන් පෙගී තිබුනෙ ඇයට ඇවිදීම පවා අපහසු කරමිනි.සෙමින් සෙමින් ඉදිරියට ආ ඇය  මා ඉදසිටි බංකුවේ එහා කොන වෙත ගොස් පොත් බෑගය බංකුව මත තබා බෙල්ලට බැද තිබු කොන්ඩ කටුව ලිහිල් කල විට තෙත බරිත වූ කළු පැහැති ඉන තෙක් වූ ඇගේ දිගු ඝණ වරලස ජල බිදිති ඉසිරමින් කඩා හැලෙන්නට විය.තලෙලු සමක් ඇති සිහින් සිරුරක් ඇති ඈ  බෑගයෙන් ගත් කුඩා ලේන්සුවකින් හැකි තරම් දිය බිදිති පිසගත් අතර ඉන්පසු  බෑගයද රැගෙන සිංහල අධ්‍යනාංශය වෙතට ඇවිද ගියාය.

 

පුංචි චිත්‍රපට ජවනිකාවක් මෙන් මගේ හදවතේ ඇදුණු ඒ සිත්තම හොස්ටල් එකට ගිය මා මගේ පුංචි දින පොතේ මෙසේ කුරුටු ගෑවෙමි.

''මහා වැස්සක සුළං මැද්දේ

හමා ආ නුඹ

කුණාටුවක්දෝ?

වස්සානයකට ප්‍රේමණීය

ආරාධනාවක්දෝ?''

 

ටික ටික දින සති මාස ගෙවෙද්දී නැවතත් ඒ රුව දක්නට ලැබුණේ පලමු වසර අපි විසින් සංවිධානය කරනු ලැබූ කලා උලෙලේදීය. නිවේදනයට විස්මිත හැකියාවක් තිබුණු මා වෙත විශ්වවිද්‍යාලය තුළදීද ඉහළ ජනප්‍රියත්වක්  ලැබුනේ බොහෝ උත්සව වල නිවේදක කටයුතු සිදිකිරීමෙනි.එදා  රංග පීඨයේ පිටුපස අසුනක තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමග අසුන් ගෙන සිටි ඈ මාගෙ නෙත් ගැටුණේ අහම්බෙනි.මායාවක් මෙන් ඈ වෙතට මාගේ හිත ඇදී යන බව තේරුම් ගත් මා ඈ පිළිබදව සෙවීමට තීරණය කලේ වේදීකාව උඩ සිටමය.ඒ අනුව මාගේ අසම සම කල්‍යාණ මිතුරාට මා ඈ පිළිබදව තොරතුරු සොයා දෙන ලෙස පැවසුවේ පියවරක් හෝ ඉදිරියට යාමේ අරමුණෙනි.

කාන්තාවන් පිළිබඳ උපන් හපන් දස්කම් සහිත මාගේ ප්‍රිය මිතුරා වැඩේ භාර දී විසිහතර පැයක් ගෙවෙන්නටත් ප්‍රථම ඈ පිළිබදව සියලු තොරතුරු රැගෙන ආවේය.

 

"ඕන්න මචං මම උබේ කුනාටු දේවතාවි ගැන ඔක්කොම විස්තර හොයන් ආවා.හැබැයි පුතෝ විස්තර කියන්නනම් ඉතිං  කැන්ටින් එකෙන් වඩයකුයි ප්ලේන්ටියකුයි ඕනේ........." මාගෙ අතිජාත මිතුරා රවින්ද්‍ර පැවසූවේ මාව ආපනශාලාව වෙත ඇදගෙන යමිනි.

කැන්ටිමේ ඇන්ටිගෙ පෙගුණු වඩයක් කටේ ඔබා ගත් සීනී දැකලවත් නැති ප්ලේන්ටියක් තොල ගාමින් රවි පැවසූ ආකාරයට ඇය සිංහල අධ්‍යනාංයෙ විශේෂවේදී උපාධියක් කරන අපේ බැජ් එකෙම කොළඹ කෙල්ලෙක්.විශේෂම දේ තාම තනිකඩයි.ඒත් ඒ ඔක්කොටමත් වඩා මගේ හිත ගියේ ඇගේ නමට..ඇයටම ගැලපෙන ඇගේ නම "මේඝා.........."

 

ඉතිං මේ හදවතේ වැදී ඈතට ගලාගෙන යන සුළං රොද අල්ලගෙන හදවතටම අයිතිකාරකම් කියන්න පෙරුම් පුරපු මම එදා ඉදන් හැමදාම පුංචි නිවාඩු වෙලාවකත් කොරිඩෝව ඉදිරියෙන් තියෙන  බංකුවට බර වෙලා ඒ රුව මැවෙන තුරු බලාගෙන සිටියා.ඉදහිට පෙනී නොපෙනී ගිය ඒ රුව දවසක් අහම්බෙන් වගේ මගෙ  ලගටම ගසාගෙන ආවේ මම මවපු ස්වප්නයකට ජීවයක් දුන් ලෙසටයි.

  එදා දේශනයක් ඉවරවෙලා මම තනියම පුස්තකාලය වෙත ඇවිදිමින් සිටිද්දී මාගේ නිවේදන සහකාරිය නිලේකා මා ඉදිරියට ඇවිදගෙන ආවාය.

"ඔයාව මම හැමතැනම හෙව්වා අනේ.මේ සිංහල ඩිපාට්මන්ට් එකෙ පොඩි වැඩක් තියේලු..ඒකේ එනව්සින් වැඩකට  මට එන්න කියල කිව්ව හලො ඒත් මට  එදාට මට ෆීල්ට් විසිට් එකක් තියෙනවා..බැරිද මම වෙනුවෙන් ඒක කරලා දෙන්න..."නිලේකා ආයාචනා බැල්මක් හෙලමින් පැවසුවාය.

"ඒකේ මේඝා කියලා ගර්ල් කෙනෙක් ඔගනයිසින් කරන්නෙ ඔයාට මුකුත් හදන්න කරන්න දෙයක් නැහැ එයා ඔක්කොම බලලා කරල දෙයි එනව්සින් කරන්න විතරයි තියෙන්නෙ..."

ඇය තව තවත් මොන මොනාදෝ පැවසුවත් මට ඇසුනේ එක නමකි ඒ මේඝා.ඉතිං මොහොතක්වත් ප්‍රමාද නොකර මම එක සිතින්ම ඒ රාජකාරිය දේවකාරිය කොට භාරගත්තේය.

නිලේකාගෙ දැනුන් දීමෙන් ඒ ඇය මා හමුවෙන්න ආ පලවෙනි දවසයි.කොතෙක් මා ඈ සෙව්වත් , දුටුවත් ඒ ඈ මා දුටු මුල්ම දිනයයි.කලු පැහැති කලිසමකට ක්‍රීම් පැහැයට හුරු කුඩා ටීශටයක් ඇද කොන්ඩය ඉහලට කර බැද සිටි ඈ වෙනදාට වඩා කාන්තිමත් අයුරකින් දිස්විණි.හීනී ඇස් තවත් සිහින් කරමින් අහිංසක සිනාවකින් සංග්‍රහ කල ඈ මා අසලට විත් සිහින් හඩකින් කතා කලාය.

"ගුඩ් මෝර්නින්  සිහින .මම  මේඝා සිංහල ඩිපාට්මන්ට් එකෙන් නිලේකා කිව්ව ඔයා කැමති කියල අපිට සපෝර්ට් කරන්න." ඇය පැවසුවේ මා අසල වූ පුටුවෙන් අසුන් ගනිමිනි.

සිංහල ඩිපාට්මන්ට් එක විසින් වාර්ශිකව සංවිධානය කරපු ඒ කලා සතිය විශ්වවිද්‍යාලය ජීවිතයේ මා ලද අමතකම නොවන සතියයි.වෙහෙසකර ඒ සතිය අවසානයේ වැඩමුළු රාශියක් පැවැත්වූ අතර මාගේ හඩ පවා උගුරෙන් පිට නොවෙන්නට තීරණය කර තිබුණි.කෙසේ වෙතත් මේ වන විට මේඝා හා මා බොහො සමීප මිතුරන් බවට පත් වී සිටියෙමු.

වැඩසටහන අවසානයේදී මා අසනීප වීම හේතුවෙන් ඈ නිතර මා ගැන සොයා බලන්නට වූවාය.අම්මාගෙන් වෙන්ව කොළඹ තනිකම පිරුණු ජීවීතයක් ගෙවූ මට ඒ මේඝාගේ සැලකිම මහමෙරක් දැනෙන්නට විය.

ඉතිං අවසානයේ මම ඇයගෙන්  මගෙ ප්‍රේමයට ඇරයුම් ඉල්ලන්නට සිතා ගතිමි.එසේ සිතා පුරුෂ ධෙර්‍යයෙන් යාලුවෙකුගෙන් ඉල්ලාගත් අලුත් ඩෙනිමකට ටී ශර්ට් එකක් දමා සුවද සෙන්ට් පවුඩර් ටිකකුත් දමා සුදානම් වූ මා ඈ එන තුරු වෙනදා  සුපුරුදු බංකුවට වී බලා සිටියෙමි.සුපුරුදු වෙලාවටම මැවෙන්නට වූ ඒ රුව මා දුටු සැනින් සිනාවක් මුව දල්වාගෙන මා අසලට විත් අසුන් ගත්තේ"ගුඩ්මෝර්නින් "යැයි පවසමිනි.

"ගුඩ්මෝර්නින් මේඝා..දැන් ලෙක්චර් තියේද?"මා ඇසුවෙ කතාවකට මුලපුරන අදහසිනි.

"අද උදේ ලෙක්චර් නැහැ .මම තනියම ගෙදර ඉන්න කම්මැලි මම ඉතිං ආව උදෙන්ම කැම්පස් "

මේඝාගෙ පියා විදේශගතව සිටින අතර මව අමාත්‍යාංශයක උසස් නිළධාරිණියෙකි.පවුලේ එකම දරුවා වූ මේඝා මුළු දවසම ගෙවන්නේ නිවසට වී තනියමයි.ඉතිං ඈ බොහො අවස්ථාවල නිරන්තරයෙන් විශ්වවිද්‍යාලට තුළ රැදෙන්නට උත්සහ කරන්නීය.

 

"එහෙමද එහෙනම් යමුද වටයක්.මටත් අද ලෙක්චර් නැහැ උදේ.."

"හරි .......යමු"

  බෑගයද රැගෙන මා පසුපස පැමිණියාය.

විශ්වවිද්‍යාලය ඉදිරියේ වූ අච්චාරු කඩෙන් අච්චාරුවක් ද ගත් අපි දෙදෙනා නිස්කලංකව ඉදගෙන සිටිය හැකි එලිමහන් බංකුවක් වෙතට පියනැගුවෙමු.

ටික වේලාවක් ගත් වෙද්දී සුදුසුම වේලාව බලා ඇයට මාගේ අදහස කීමට මම  සිතා ගත්තෙමි.

"මේඝා.........."

"ම්ම්ම්ම්ම්ම්"ඇය වෙරළු ගෙඩියක් කටේ දමා ගනිමින් පැවසුවාය.

"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා..."

"මොකක්ද?"

"ඔය අච්චාරුව පැත්තක තියලා පොඩ්ඩක් අහන්නකෝ මම සීරීයස් දෙයක් කියන්න යන්නෙ........."මම නෝක්කාඩු ස්වරූපයෙන් පැවසුවේය.

"ම්ම් සොරි සොරි කියන්නකො දැන් මොකක්ද කියන්න තියෙන්නෙ?"

"මේකයි මේඝා..මම ඔයාව මුලින්ම දැක්ක දවසෙ ඉදන්ම මට ඔයා ගැන කැමැත්තක් ඇති වුණා.කැමැත්තක් කියන්නෙ නිකම්ම කැමත්තක් නෙමෙ.ආදරයක් වගේ දෙයක්...ප්ලීස් මම ගැන වැරදියට හිතන්න එපා...හොදේ........මට මේක තවත් හංගන් ඉන්න බැහැ ඒකයි කිව්වෙ..............ඔයාට මොකද හිතෙන්නෙ........?."එක හුස්මට කියාගෙන කියාගෙන ගිය මට මහා බරක් සැහැල්ලු වුනා මෙන්  විසාල සැනසීමක් දැනෙන්නට විය.ඊලගට හද ගැහෙන්නට වූයේ මේඝාගෙ ප්‍රතිචාරය කුමක් වේදැයි සිතමිනි,ඇය තරහවේවීද? ආයෙ කතා නොකර ඉදීවීද? බනීවීද?

දහසක් දේ මගේ හිත තුළ නලියන්නට විය.

ඒත් මේඝා....................

ඇය කිසිදු ශබ්දයක් නොකර මා කියූ දේ ගණනකට නොගෙන අච්චාරුව රසවිදිමින් සිටින්නීය.එය දුටු මට මහා අපහසුතාවක් දැනෙන්නට විය.

 

"මොකක්ද හලො ඔහොම ගණන් නොගෙන ඉන්න එපා.මම කියපු දේ ඇහුනෙ නැද්ද ඔයාට.........අකමැතිනම් කියන්න මම මගෙ හිත හදාගන්නම්..........." හිතින් කැමැත්ත ලැබේවා යැයි පතමින් මම   බොරු දුක් මූණක් මවාපාමින් පැවසුවෙමි.

ඈ අච්චාරු භාජනය බිමින් තබා විත් පැවසූවේ මා සිහිනයකින්වත් නොසිතු දෙයකි.

"ඇයි මෝඩයෝ ඕක කියන්න ඔච්චර කල් ගත්තේ? මම හිතුවේ ඔක මීට කලින් අහයි කියලා.ඇහුවෙ නැතොත් ගෑනුකම ලැජ්ජාව පැත්තත තියලා මම අහන්න හිටියෙ........"යැයි පැවසු ඈ මගේ දැතේ එල්ලෙද්දී මගේ හදවතට නිමක් නැති සතුටක් ගලා එමින් තිබිණි.

එතනින් පසු ආරම්භ වූ සරසවි දවස් ප්‍රේමණීය හැන්දෑවරු, ආදරණීය කතා බස් ,රෝමාන්තික හාදු වලින් පිරී ඉතිරී ගියහ.

මේ අතරතුර ඇයගේ මවගේ මාර්ගයෙන් ඇය   ගුවන්විදුලි  සංස්ථාවේ  අතිරේක නිවේදකයෙකු ලෙස මට රස්සාවක් සොයා දුන්නාය.එදා ඒ මුලින්ම දිනයේ ඇය මා දෙස කදුළු පිරි දෑසෙන් බලා සිට "දන්නවද සිහින මගෙ හීනයක් තමා දවසක ඔයා මේ රටේ විතරක් නෙමේ මේ ලෝකෙම දක්ශතම නිවේදකයා වෙනව බලන්න.ඔය කඩහඩින් ලොවක් දිනනවා දකින එක....."යැයි පවසා කම්මුල සිප ගත්තාය.

මෙසේ ටික දිනක් යද්දී ගුවන්විදුලියේ මා පෙන්වූ දස්කම් හේතුවෙන් එහි ස්ථීර නිවේදකයෙකු ලෙස රාජකාරි කරන්නට මට හැකිවිය.ඒ සමගම විශ්වවිද්‍යාලය වැඩ නිවේදන වැඩ සමග මම බොහෝ කාර්යබහුල වන්නට වුණි.ඒ අතරතුර මුලදී සතියකට වරක් හමුවූ මේඝා පසුව සතිදෙකකට එකදවසක් ,මාසයකට එක දවසක් හමු වූ අතර පසුව ඈ මා මගහරින්නට වූවාය.

මේ වන විට විශ්වවිද්‍යාලයේ  අපගේ අවසන් මාස කිහිපය ගෙවෙමින් පැවතුණි. එනිසා බොහෝ සිසුන් තම අධ්‍යනය කටයුතු සමග කාර්‍යබහුල විය.නමුත් මේඝාගේ මේ අමුතු හැසිරීම මුලදී මා ගණන් නොගත්තත් පසුව මට එය තදින්ම දැනෙන්නට විය.ඉතිං දවසක් මා ඇයට හමුවිය යුතුයි යැයි පණිවිඩයක් යැව්වේය.නමුත් අධ්‍යනය වැඩ බහුලයි.පස්සෙ හමුවෙමු කියා ඈ මා මග හැර ගියාය.

බොහෝ සිත් තැවුල් හමුවේ උනත් ඇය මා අතහැර නොයයි යන විශ්වාසයෙන් ඇගේ පවුලට ගැලපෙන තත්වයක් ලබා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් මම වෙහෙසී වැඩ කලෙමි.

විශ්වවිද්‍යාලය ජීවීතයේ අවසන් දවස් කිහිපය ගෙවෙමින් පැවතුණි.ඒ අතරතුර මා මග බලා සිටි පනිවිඩය මා වෙත ලැබිණි.ඒ මේඝාට මා හමුවන්න අවශ්‍ය බවයි.

බොහෝ කලකට පසු දකින්න යන තම ආදරවන්තිය වෙනුවෙන් විශ්වවිද්‍යාලය භූමිය පුරා ඇති මල් ගස් වලින් මල් කිහිපයක්ද මම කඩා ගත්තේ මේඝා මල්වලට බොහෝ ප්‍රිය කරන බැවිනි.එයිනුත් ඇය වඩාත් ප්‍රිය සුදු අරලියා මලටයි.පුංචි සුදු අරලිය මලක් මැදින් ගසා සකසා ගත් මල් කිනිත්තත් රැගෙන මම යන විට ඇය වෙනදා සුපුරුදු කොරිඩෝව අසල බංකුවට වී ඉදගෙන සිටියාය.මා දුටු ඒ මුහුණේ සිනාවක් රැදුණද එය අව්‍යාජ සිනාවකි.ඒ ඇය කුමක් හෝ හිත් කරදරයකින් පෙළෙණ බවකි.මා දුන් මල් කිනිත්ත දෑතට ගත් ඈ සුපුරුදු පරිදිම අරලිය මල සිඹින්නට වූවාය.ඉන්පසු මා දෙස බලා එක් වරම මා තදින් වැලද ගත්තාය.සිදු වූ දේ සිතන්නටවත් මොහොතක් නොදීම ඇය මුහුණ හොවා ගත් පිරිමි පපුවට ඇගෙ කදුලෙහි උණුසුම දැනෙන්නට වූවේය.

 

"මේඝා............කියන්නකො.......මොකක්ද මැණික වුනේ? ඇයි ඔයා මේ අඩන්නෙ..............?"

"ප්ලීස් මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න............"ඇය හැඩුම් අතරින් කෙදිරි ගෑවාය. ඇය පපුවට තුරුළුව හිටි ඒ විනාඩි දහය පිරිමි පපුවක් දරාපු වෙහෙසකරම විනාඩි කිහිපයකි.ප්‍රේමය නමින් ගලායන ඒ කදුළු හයිය පිරිමි පපුවකට වුවද බොහෝ බර වැඩිය.

 

ඇය ඉන්පසු නැගිට කදුලු පිස දා මගෙ දෑස් දෙස ඍජු බැල්මක් හෙලුවාය.

"සිහින මට සමාවෙන්න.මම දන්නෙ නැහැ මෙතන වැරැද්ද මොකක්ද කියලා ඒ උනාට සිහින අපිදෙන්න එකතුවෙලා මවපු ඒ සිහින ඔක්කොම බොද වෙලා කැඩිලා බිදිලා විසිරිලා ගිහින් .දන්නවද අපෙ ගෙදරින් මේ සම්බන්ධය ගැන දැනගත්තා.ඔයා දන්නවනෙ අපෙ මමී ඩැඩී හිතන විදිය ටිකක් අමුතුයි කියලා ඒගොල්ලන්ට මට , මගෙ සතුටට වඩා වටින්නේ ඒගොල්ලන්ගෙ තත්වය තරාතිරම.ඉතිං ඒ වගේ තැනක ආදරේට ඉඩක් නැහැ සිහින.ඒගොල්ලො මාව ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක්ට ප්‍රොපෝස් කරලා.මම කොච්චර ට්‍රයි කරත් මගෙ වචන වලට ඇහුම්කන් දෙන්නවත් කෙනෙක් නැහැ සිහින.මට හැමදේම අත ඇරලා ඔයා ලගට එන්න පුලුවන් .ඒත් හදපු වඩපු දෙමාපියන් ට දුකක් දීලා අපි කොහොමද සතුටින් ඉන්නෙ සිහින........

ඉතිං මට දස දහස් වාරයක් සමාවෙන්න........

මට වෙන කරන්න දෙයක් නැහැ සිහින "

ඇය ඉකිගසමින් හඩන්නට වූවාය.එදා මුල් වරට මා ගොලු විය.කුමක් කරම්ද කුමක් වීද යැයි සිතා ගන්නට බැරි තරමටම මා ගොළු විය.මා කර එකම දේ ඒ දෑස් දෙස ඇස් වැසෙන සැනින් නැතිවෙ යැයි යන බියෙන් ඇසි පිය නොහෙලා ඈ දෙස බලා සිටීම පමණි.

 

බොහො වෙලාවක් හැඩූ ඈ නැවත හඩ අවදි කලාය.

"දන්නවද සිහින ඔයාට හරි ලස්සන අනාගතයක් තියෙනවා.දැන් ඒක හැදිලා ඉවරයි.ඉතිං ඒ නිසා ඔයා ඔයාගෙ ඔය හඩින් විශ්වයටම ඇහෙන්න කෑ ගහලා කතා කරන්න.ඔයා හොදට මතක තියාගන්න.මගෙ හුස්ම පවතින තුරාම මම ඔයාගෙ හඩ හැමදාම අහනවා.ඉතිං ඔයාගෙ ඔය හඩ මගෙ  හුස්ම ගැහෙන්න හේතුවක් වේවී.......දවසක ඔය හඩ මට ඇහෙන්නෙ නැතිව ගියොත් එදාට මට ජීවත් වෙන්න හේතුවක් නැති වේවී"එසේ පැවසූ ඇය මාගේ මුහුණ දෑතින්ම අල්ලා තොල්පෙති  තදින් සිපගෙන දිව ගියාය.

ඈ පසුපස කෑ ගසමින් දිය යන්නට සිතුනත් මාගේ දෙපා මට අවනත නොවිනි.සිදුවූ දේ හරි හැටි අවබෝධ වූ පසු පියවි සිහියට ආ මා ඈ ගිය මග දිව යන්නට වුණි.

ඒත් ඈ ගිය මගක මං සලකුණක්වත් නොවීය.සරසවිය පුරාම ඇගේ මතක විසිරී ඇත. බැලු බැලු හැම තැන ඈය.හෙමි හෙමින් අපි දෙදෙනා ආසම කවි පවුර වෙත ගිය මගෙ ඇස් ගැටුනේ එහි පඩිය මත වූ පෑනයි.එය ඇයගේ කැමතිම රටින් ගෙනා විසිතුරු පෑනකි.එහි උඩ කොටසේ විසාල  බූල් පිපෙන හා පැටියෙකි.ඒ අසලම පවුරේ වූ කැන්වසය මත හුරු පුරුදු අකුරෙන් ලියූ සටහනකි.

 

"පොදි බැදගෙන මහගොඩක්

සිහින

ඉතිං ගසාගෙන ගියා මම

මේඝ "

ඇගේ බූල් පෑනෙන්ම යටින් අකුරු ටිකක් ඇමිණූ මාත් ඈ මෙන් ගසා යන්නට සූදානම් විණි.

 

"ඉතිං නුඹ ගසා යන්න

උතුරු කෙලවර සිට

දකුණු කෙලවරටම

පුලුවන්ම

සැගවෙන්න

මහ සයුර මැද

ඒත්

රැය වේවා දහවල වේවා

සිහිනවලට මම එනවා

සත්තයි.............."

 

ඉන්පසු බොහො කලක් මා ඈ සොයා පාරක් පාරක් ගානේ යන්නට විය.ඇගේ මිතුරන් හමුවන්නට විය.නමුත් ඇයවත් ඇය පිළිබදව දන්නා කිසිවෙකුත් නොවීය.මේ අතරතුර අපගේ  උපාධි ප්‍රදානෝත්සව දිනය උදා විය.නමුත් ඇය එදිනවත් පැමිණියේ නැත.කාලය ටික ටික ගෙවි යන්නට විය.ඒ අතරතුර මට විශ්වවිද්‍යාලය තුළ සහය කතිකාචාර්යවරයෙකු වශයෙන් පත්වීම් ලැබිණි.නිවේදන කටයුතු වලින්ද ඉහළට යන්නට වරම් ලැබිණි.බොහෝ දේශීය විදේශීය සම්මාන සදහා නිර්දේශ වන්නට මෙන්ම සම්මාන ලබා ගැනීමටද හැකියාව ලැබිනි.

           

'ට්‍රීංං ට්‍රිංං ට්‍රිංං ට්‍රිංං ට්‍රිංං ට්‍රිංංංං............."

බංකුවක් මත වසර ගණනක අතීතයක ගිලී සිටි මා  එකවර පියවි සිහියට එලඹුණේ සාක්කුවේ වූ දුරකතනය නාද වීමත් සමගය.

 

"හෙලෝ............."

"හෙලෝ අප්පච්චි කොහෙද ඉන්නේ........"

"අනේ පැටියො මේඝා අප්පච්චි තාම කැම්පස් එකෙනෙ ඉන්නෙ ඇයි ?..."

 

"අප්පච්චි එනකොට බබාට චොකෝ ගේන්න හොදේ..........."

 

"හරි මැනික .මම ගේන්නම්.........කෝ අම්මා.......?

 

"හෙලෝ...සිහින ගෙදර එනවද,නැත්තම් අදත් යනවද රේඩියෝ එකට........?"

 

"දන්නවනෙ මාශා  ඉතිං කොච්චර ලොක්කෙක් උනත් කොච්චර වැඩ තිබුණත් මේ සිහින හැමදාම රේඩියෝ එකට යනවා කියලා..........."

 

"ම්ම් දන්නො දන්නෝ.මේඝට හුස්ම දෙන්න සිහින නොගිහින් කොහොමද ? .පරිස්සමෙන් ගිහින් එන්න බුදුසරණයි "

 

"බුදුසරණයි........."

 

.......................................................................................................

 

"ඉතිං ආයුබෝවන් සුභ සන්දයාවක් වේවා.ඔන්න ඉතිං  වෙනද වගේම සුපුරුදු පරිදි වෙනද වෙලාවටම  ඕගොල්ලන්ගෙ සිහින වලට කතා කරන මම සිහින .....................""

Popular posts from this blog