ක ළු කු ම ර

 

ක ළු කු ම ර

MAPT/21/B1/23 Pasidu

මයෙ අම්මේ අපෝ මාව බේර ගනියෝ........කළු මිනිහෙක් මගෙ ළඟට ආවෝ.......අදෝ.....අයියෝ...අනේ

යනුවෙන් මහා විලාප නගමින් ඇය ගෙමිදුලට පැන ඒ මේ අත හූ කියමින් දුවන්නට විය. ගෙදර සිටි සියලු දෙනා ඒ දෙස මහත් වික්ෂිප්තව බලා සටි අතර කුමක් වූයේද යන වග කාටත් සිතා ගැනීමට නොහැකි විය. එකෙනෙහිම ඈගේ ඇස් රත් පැහැ වුන අතර ඔලුව පහත් කර වේගයෙන් හිස කරකවන්නටද වීය. කොන්ඩය ද කඩා වැටී ඇති නිසාවෙන් ඇයව අන්අයට පෙනුනේ භයංකාර ස්වරූපයෙන්ය.

මද වේලාවක් ගිය පසු මහා විලාප හඬ නවතා මහා හයියෙන් සිනාසෙන්නට පටන් ගත්තාය. ඒ වන විට අවට පරිසරය තුළද නිහඬ බවක් ඇති විය. ඉර බැස යන ඇඳිරි වැටෙන හෝරාව තුළ සිදු වූ මේ අභූත සිදුවීම කුමක්ද යන්න නිවසේ සියලු දෙනා විමතියට පත් කරන කරුණක් විය.

දෙයියනේ.......මේ මොකද්ද එකපාරටම උන නස්පැත්තිය......අපෝ...හොඳට ඉඳපු මගේ කෙල්ලට මොකද්ද මේ උනේ....

ඔලුවට අත් දෙක  තබාගත් අනෝමාගේ මව මේ මහ අමුතු සිදුවීම දෙස විමතියෙන් බලාගත් අතම බලා සිටියාය. අනෝමාගේ පියා ඉස්තෝප්පුවෙන් බැස මිදුලටවිත් සෙමින් සෙමින් අනෝමා දෙසට කිට්ටු විය.

පොඩිනා....පොඩිනා...දුවේ..අනෝමා... මොකද උඹට මේ උනේ...

යනුවෙන් අනෝමා ට කිහිප වතාවක් කතා කරන්නට විය. ඇයගේ හිනාව එවෙලෙහිම නැවතුණි. අනෝමා එකපාරටම උඩ බලාගෙන විලාප තබා අවසානයේ එතැනම සිහිසුන්ව වැවිණි. පසුව අනෝමාගේ මව ගෙතුළට ගොස් වතුර වීදුරුවක් ගෙනෙන්ට විය. වතුර වීදුරුවෙන් අතට වතුර ස්වල්පයක් ගෙන අනෝමාගේ මුහුණ තෙත් කරන්නට විය.

අනේ......දූලගෙ තාත්තෙ අපි දැන් මොකදෑ මේකට කරන්නේ

යනුවෙන් අනෝමාගේ මව පැවසුවා ය.

අනුමානයක් නෑ හාමිනේ.... මේ ගතවෙන හෝරාවෙ හැටියටයි. මේ වෙච්ච දේවලුත් එක්කයි මේ නං යක්ෂ දිෂ්ඨියක්ම තමයි......

අපොයි.......දෙයිහාන්දුරුවනේ...මොකද්දෑ මේ උන වින්නැහිය.....

කෝ හාමිනේ මේ සේතං........සේතං.....සේතං

යනුවෙන් හයියෙන් කෑ ගාන්නට විය.

ඒ මොහොතේ තරමක් වයසක තලෙලු කෙසග මිනිහෙක් නිවසේ පිටුපස පැත්තේ සිට හනික දුව එන්නට විය.ඔහු නිවසේ වැඩ කටයුතු වලට සහ අත් උදව්වට මෙන්ම එම නිවසේ හරකා බාන වතුපිටි ආදිය බලාගන්නා පුද්ගලයාය.

කොහෙද මිනිහෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ.....උබට නිකමටවත් මෙතන වෙච්ච දේවල් කන වැකුනේ නැද්දැ......

අනේ.. නෑ... රාළහාමි මම මේ හරකුන්ගේ මඩුව සුද්ද කොරන ගමන් ඉඳියේ

යනුවෙන් සේතං පිළිතුරු දෙන්නට විය.

හා හා ඒකට කාරි නෑ උබ දැන් හනික ගොහින්.......පහළ දොළේ කර්නේරිස් ගුරුන්නානසේව එක්කාන වරෙන්....

හොඳමයි රාළහාමි...මං මේ දැන්ම යන්නං...

යනුවෙන් බොහොම යටහත් පහත් ලෙස එම කියූ දෙයට සේතං පිළිතුරු දුන්නේය.

අහ්....සේතං.... උඹ දැන් උන්දැව එක්කන් එන්න යද්දි....කළුවර වැටෙනවා ඒ නිසා හුළු අත්තකුත් ඇන්න පලයන්....සුනංගු නොවී පරිස්සමට වරෙං

කියමින් අනෝමාගේ පියා අනෝමාව ගෙතුළට ගෙන ගියාය.

අනෝමා උන් තැනම බලා ගත් අත බලා සිටියාය. ඒ අතර ඇය නොයෙක් දේ මුමුණන්නට ද විය. මේ සිදු වූ දේ පිළිබඳව කිසිවක් සිතාගත නොහැකි වූ අනෝමාගේ මව ඇයගේ හිස අතගාමින් ඉතිපිසෝ ගාථාව කියන්නට පටන් ගත් සැනින්. අනෝමා නැවත එකපාරටම කලබල වී හූ තියන්නට විය. ඇය වැතිරී සිටි පැදුර විසිකොට එතැනින් නැගිට මහා හයියෙන් කෑ ගහන්නට විය.

නවත්තපන් ඕක.......මාව පිච්චෙනවා ගෑනියේ

යනුවෙන් මහා භයංකාර ස්වරයෙන් පැවසීය.

අනෝමාගේ මව එතැනින් ඉවතට පැන්නනේය. පසුව අනෝමා ගෙය දෙවනත් වන්නට නොනවත්වාම මහා හියියෙන් කෑ ගසන්නට විය. එකෙණෙහිම සේතං සමඟ ගුරුන්නානසේද ගෙතුළට ගොඩවිය.

අනේ... ගුරුන්නානසේ මගේ කෙල්ලව බේරලා දෙන්න...........අයියෝ කාට කියන්නද මේ අවනඩුව යනුවෙන් අනෝමාගේ මව මහත් භ්‍රාන්ත වූ ස්වරූපයකින් කෑ ගෑවේය.

ඒ අතරතුර ගුරුන්නාන්සේගේ උස් හඬින් මන්ත්‍රයක් මතුරන්නට විය ඒත් සමඟම ෙසේතං ලවා වතුර වීදුරුවක් සහ පීරිසයක් ගෙන්වා ගන්නා ලදි. ගෙන ආ වතුර වීදුරුවට ද මතුරන්නට වීය. ටික වේලාවකින් මැතිරීම අවසන් වීය. පසුව අනෝමාගේ මුහුණට එම වතුර ස්වල්පයක් ඉසින ලදි. අනෝමා සනසුන් වූයේ එයින් පසුවයි. අනෝමාගේ මව වූ බිසෝහාමිගේ හිතට යම් ඉස්පාසුවක් දැනිණ

මොකක්ද ගුරුන්නාන්සේ මගේ කෙල්ලට වෙලා තියෙන්නේ............ අනෝමා මහත් විමතියෙන් ඇසීය

ඒක ඉතින් මේ පහුවෙන යාම වෙලාවයි ආන්ඩුමට්ටු උන මේ මැතුරුමටයි අනුවනං කළු දේවතාවගේ බැල්ම වැටිච්ච හැඩයි......

ඒ කිව්වේ ගුරුන්නාන්සේ....

අනෝමාගේ පියා වන සිරිදාසගේ හිතට ඇති වූයේ ඉමහත් කුතුහලයකි. තමන්ගේ පවුලේ එකම දියණියට හිටිහැටියේම මේ උන සිදුවීම ගැන සිරිදාස ගුරුන්නාන්සේ කියූ දෙයට වික්ෂිපතව බලා ගත් අතම බලා සිටියේය.

සරිදාස අප්පු.....

යැයි ගුරුන්නාන්සේ හඬගෑමත් සමඟම සිරිදාස සිටි කල්පනාලෝකෙන් පියවි සිහියට පැමිණියේය.

කළු කුමාර දේවතාවා කියන්නේ ලේසි කෙනෙක් නෙමෙයි ඊටත් සත්‍රී පරාණ වලට විශේශයෙන් අලුතෙන් වැඩිවියට ආපු ගැටිස්සියන්ට ඇල්ම කොරාගෙන බැල්ම ලා ගෙන ඉන්නේ…. තනි මං වලදි , දෙමංසලකදි පාලු තැන්වලදි හරි එහෙමත් නැත්නම් හීනෙන් හරි පෙනී ඉඳලා දිස්ටි හෙළාගෙන ලෙඩ රෝග පමුණුවනවා කාලයක් ඔහොම දේවල් වලින් පස්සේ තමයි ….සිරිදාස අප්පු මේ වගේ මායම් වෙලා ඇඟට ඇතුළුවෙලා කරදර කරන්නේ...

ගුරුන්නාන්සේ කියූ එම කතාව අසාගෙන සිටි සියලු දෙනා පුදුමයෙන් මෙන් බලා සිටිය අතරතුරම මෙතෙක් අඩ සිහියෙන් සිටි අනෝමා එකවරම පැදුරෙන් නැගිට ගුරුන්නානසේ දිහාවට ගොස් තර්ජනාත්මකව මහ හයියෙන් කෑගසන්නට විය.

අහ්.......කර්නේලිස් උඹව ආයෙම මුනිච්චි උනා එහෙනම්.....උඹ හොඳාකාරයෙන්ම මං ගැන දන්නවනේ බොල....හහ් බලමු කොහොමද මේක උඹ මේ පාර අහවර කරන්නේ කියලා.........හැබැයි එකක් මතක තියා ගත්තනං හොඳයි මේපාර උඹත් එක්ක මගේ හත් කට්ටුවම බලන් ඉන්නේ කියන වග.....දොළ පුද කැප දීපිය එහෙනම් නියමාකාරයෙන්.....මේ පාර ලේසි නෑ බොල උඹට මාත් එක්ක....හහ්....හහ්..හා...ම්හ්...ම්හ්..ම්හ්

ලෙස මුළු පළාතක් දෙදරන්න මෙන් මහ භයංකාර උස් හඬකින් තර්ජනය කරමින් අභියෝගාත්මක උපහාසත්මක සිනහවක් පාමින් කෙස් වැටිය පහත් කරගනිමින් වේගයෙන් අනෝමාගේ හිස කරකවන්නට විය. ඒ මොහොතේම ගුරුන්නානසේ කහනූලක් සමඟ මැතුරුම් තෙල් දමා සකස්කරගත් පීරිසිය අතට ගෙන දිගටම වේගයෙන් මන්ත්‍ර මතුරන්නට විය.

ඕං කර්ලාඩි කළුකුමාර ඉරන්දප්පාසන වාරුං ඉර්ලප්පා කළුකුමාර කල්ළු මලතම්බිරානේ ගිනි ගිනි වා වා.....

මද වේලාවකින් අවසන් වූ මැතුරුමත් සමඟම අනෝමා එකවරම උඩබලා ගත්වනම බලා සිට බිමට ඇද වැටිණ..

ගුරුන්නාන්සේ වාඩිවී සිටි පුටුවෙන් එකවරම නැගිට තවත් මනත්‍රයක් තොල් මතුරමින් අනෝමාගේ ගෙල වට ඇප නූල බඳිනවත් සමඟම සිරිදාස දෙස බලා

ඔන්න එහෙනම් අදින් දවස් හතක් ගිය තැන රට යකුමක් නටන්න සූජානම් කොරගත්තනං හොඳයි...යනුවෙන් පවසා

ඔය කෙල්ලව දැන තනි නොකර මේ දවස් කීපය හොඳින් බලාගත්තනං හොඳයි........මස් ,පුළුටු, තෙල් නොදුන්නට කාරි නෑ..........

යනුවෙන් ඒ කර්තව්‍ය අවසන් කර ගුරුන්නානසේ සරිදාසවත් එකතු කරගෙන නිවසේ ඉදිරිපස ඉස්තෝප්පුවේ වාඩි වී කතාවක් මුල පිරුවේය

මෙහෙමයි සරිදාස අප්පු ඔය කළු කුමාරයා කියන්නේ.....

මල්වර වෙලා ඉස්‌ නානට යන ගමනේ

මනකල් වෙලා හඬ තලමින් නානතුනේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ

ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ

බොහෝ තලතුනා වැඩිහිටියන්  විසින් කාන්තාවන්ට විශේෂයෙන් විශේෂයෙන් විවාහපත් නොවූ තරුණියන්ට ඉර බැස යන වෙලාවට ලිං පොකුණු වලින් නෑමට නොදෙන්නේලු.එයට හේතුව වශයෙන් සඳහන් කරන්නේ කළු කුමාර නම්  යක්ෂයෙකුගේ ඇල්ම බැල්ම වටේ යැයි බිය නිසවෙන්ය.

ජනප්‍රවාදයේ එන කළුකුමාර දෝෂයට අනුව එසේ පැමිණෙන කුමරු එම දෝෂයට ලක්වූ කාන්තාවන්ට නින්දෙදී අහර කවයි. ලිංගික ආශ්වාදයක් ලබාදෙයි. මේ නිසා ආහාර අරුචිය, වෙනත් පිරිමින් හොරුස්නා ගතිය, උණ විකාරයෙන් කියවීම, නින්දෙන් පිබිදී නිවසින් එළියට යාම ආදී බොහෝ දේ සිදුවෙයි. එසේම තරුණ කාන්තාවන්ගේ සිරුර කෘෂ වෙන අතර දරුවන් නොලැබීම, ඔසප්චක්‍රය අක්‍රමවත් වීම, මළ දරුවන් ලැබීම, ගබ්සාවීම ආදී ව්‍යාධීන් සිදුවෙයි. එම නිසා කුමන හෝ හදිසි අවස්ථාවක තරුණියක් ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්‌, ගිරයක්‌ අත තබාගෙන යන්නේද මේ යක්‍ෂයාගේ බැල්මෙන් වළකින්ටය.

එමෙන්ම ඉහත කවිය අනුව ද  කාන්තාවන් විශේෂයෙන් දැරියන් ස්‌නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් වැළකීම හොඳය.එලෙස කෑකෝ ගැසීමෙන් කළු කුමාරයාගේ ඇල්ම බැල්ම වැටීම සිදු විය හැකි යැයි දැක්වේ.

කෙසේ වෙතත් අතීත ජන සමාජයේ මෙවැනි තහංචි දැමීම මගින් කාන්තාවන්ගේ සංවර බව රැකගැනීමට හා ඔවුනට සිදු විය හැකි අකටයුතුකම් වලින් ද ආරක්ෂා වූ බව පැහැදිලිය. එමන්ම සමහරක් විටක කලු කුමාර සංකල්පය  වැඩිවියට පත් දැරියන් සමාජයේ ඇති නපුරින් බේරාගැනීම සඳහා භාවිත කළ මනඃකල්පිතයක්ද විය හැක. අදටත් විද්‍යාත්මකව  තහවුරු කළ නොහැකි මෙම සංකල්පය හරහා කාන්තාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ තහංචි ඇති කරනු ලබයි. එලෙසම ප්‍රබල  මනෝ විද්‍යාත්මක හරයක්ද මේ තුළ ගැබ්ව ඇත. මෙහි සත්‍ය  අසත්‍යතාව කෙසේ වෙතත් අපුර්ව, නිර්මාණාත්මක ලක්ෂණ ප්‍රකට  කරන ජනශ්‍රැතියක්  වශයෙන් මෙය හඳුනාගත හැකිය.

කලු කුමාර යකා  වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්‌ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්‌ස ගස්‌ ළඟ, කිරිගස්‌යට, මංසැල වල, රදා තොටුපල, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුළුටු, මස්‌, බිත්තර බැද කා යන විට වතක්‌ ගලවා වතක්‌ අඳින තැන් ආදිය වේ.

වට කළු කුමාර, තොට කලු කුමාර,නීල මදන හා මාතාමුළු ලෙස කලු කුමාර කිහිප දෙනෙකුත් ඔවුන්ගේ උත්පත්ති කතා කිහිපයකුත් ජනශ්‍රැතියේ පවතියි.

පෙර ලක්දිව සකළකලා වල්ලභ නම් රජෙකු රජකම් කරන ලද අතර ඔහුගේ අනියම් බිසවකට දාව ඉපදුනු කුමාරයෙක් විය.කුඩා කල සිටම සෙල්ලක්කාර ජීවිතයකට හුරු වූ මේ

කුමාරයා අතින් අතවර වූ කාන්තාවන් බොහෝ දෙනෙකු ගැන පැමිණිලි රට වටින්ම පැමිණෙන්නට විය.

අවසානයේ මේ සියල්ල ඉවසිය නොහැකි වූ රජතුමා ප්‍රසිද්ධියේ එම කුමාරයාට දඬුවම් දුන් අතර මේ නිසා ඔහු තම පියා සමග තදින් වෛර බැන්දේය.අනියම් බිසවකට දාව උපන් බැවින් කිසි විටෙක තමා හට රජ කම ද නොලැබෙන බව දන්නා මේ කුමාරයා රජු මැරවීමට උපායක් කල්පන්න කළේලු.

සකලකලා වල්ලභ රජු දියකෙලියට පොකුණට බැසීම වෙනුවට උඩක සිට දියට පැන ජල ක්‍රීඩා  කිරීමට මහත් ආශාවක් දැක්වීය.රජැගේ මෙම පුරුද්ද ඔහු මැරීමට උපක්‍රමයක්  ලෙස යොදාගැනීමට සිතු කුමරු කාටත් හොරෙන් නාන පොකුණෙ රජ්ජුරුවො දියට පනින තැන උල් කරපු ලී සිටුවන ලදී. ඒ දියට පනින රජතුමා උල් ලීවල ඇනී මැරෙන විදිහටයි .

එදා දිය කෙළියට ඇවිත් සකල කලා වල්ලභ රජ්ජුරුවො දියට පනින්ට සූදානම් වුණත් රජුගේ තීක්ෂණ කල්පනා ශක්තිය අනුව ජලය මතුපිට වසා සිටින මැස්සෙකු දැක යම් සැකයක් උපදිනවා.

මැස්සෙකුට ජලය මත වහන්ට පුළුවන්ද? “ වහා රාජපුරුෂයන යොදවා පොකුණ පරීක්ෂා කළා. එයින් රජු මරා දමන්ට පොකුණේ සිටුවා තිබූ ලී උල් හමුවුණා.

ඒ පිළිබඳව කියවෙන පැරණි කවියක් මෙසේය.

 

 

පසන් කලාවල්ලභ පිය නර         නින්දා  

තමන් හට නොදී රජ කරනා      සින්දා  

මරන්නට නාන පොකුණේ උල්   ඉන්දා  

සිටින්නට නුනි මෙනුවර මේ       සන්දා  

වැඩේ වැරදුණු බව දැනගත් කුමාරයා මාලිගාවෙන් පලා ගියා. සමනල අඩවියට ගිය කුමාරයා දිවි නසා ගත්තේලු. මරණින් පසු ඔහු කලු කුමාරයාබවට පත්වූ අතර මියගිය පසුත් තම පුරුදු අතහැර ගන්නට බැරුව තවමත් ස්ත්‍රීන්ට විශේෂයෙන් විවාපත් නොවූ තරුණියන්ට අතවර කරන්නේලු.

ඒ හා සම්බන්ධ තවත් කතාවක් ඇත.එහි මුලශ්‍රයට නම් පුරා විද්‍යා සාක්ෂි පවා ඇති අතර ඒ අනුව මහා වංශයේ සඳහන් පරිදිත් මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතාගේ ප්‍රකාශයක් ‌ අනුව  වැලිගම්පුර "රාජකුලවඩන" විහාරයේ ඇති සෙල්ලිපියේ සඳහන් පරිදි 6 වන ශතවර්ෂයේ රජ වූ බුවනෙකබාහු චක්‍රවර්තී රජ සමයේ ඉන්දියාවේ විල්ලෝඩ් ප්‍රදේශයෙන්  පැමිණි කුමරෙක් ලංකාවේ මානවළු ප්‍රදේශය පාලනය කළේ යැයි සඳහන් වේ. ජන්ශ්‍රතියට අනුව ඔහුගේ මාලිගය තනවා තිබුනේ උයන්ගොඩ ආභරණ ඇල්ලට කිට්‌ටුව කඳු මුදුනක බවත් කළුපැහැයෙන්  යුතු සද්ධන්ත පුරුෂයෙකු වූ මොහුට සියලු දෙනා කළු කුමාරයා යන අන්වර්ථ නාමයෙක් කතාකල බවත් දැක්වේ.

ඔහුට කොණ්‌ඩමාල, ගිරිමේඛල, ඕංකාර, රතනපාල, මුදුන්මාල, ධර්මපාල, නාගමාල කුමරියන් සත් දෙනෙකුද පරිවාර බිසවුන් 32 ක් ද සිටි බවත් එහෙත් ඔහු අධික කාමාශාව නිසා යෞවනියන්, කාන්තාවන් පසුපස ගිය බවත් සඳහන් ය.

කලු කුමාරයා ඒ කාලයේ ඇතිවූ කැරැල්ලක්‌ මැඬලීමට යැමේදී තමා පැරැදුනොත් කළු කොඩියක්‌ එනවිට ඔසවන බව කියා පිටව ගොස්‌ කැරැල්ල පහසුවෙන් මැඩලා ජය ලබා ආපසු එන විට කුමරියන්ට විහිළුවක්‌ කරන්ට ඕනෑයි හිතා කුමරියන් රැවටීමට කළු කොඩිය ඔසවා ආවේලු. මෙය දුටු බිසෝවරුන් ළඟම තිබූ දිය ඇල්ලට පැන සියදිවි හානි කර ගත්හ.

මාලිගයට පැමිණ කරුණු විමසීමේදී තමාගේ විහිලුව වැරදි ඇති බවත් එයට කම්පා වූ ඔහුද එම අල්ලටම පැන සියදිවි නසාගත් අතර, බිසවුන් තම ආභරණ පිටින්ම දියඇල්ලට පැන්න නිසා එය ආභරණ ඇල්ලනමින් හැඳින්වෙන බවත් පසුව මෙම බිසෝවරුන් යක්‍ෂණියන් වූ බවද මෙම කළු කුමාරයා යක්ෂයෙකුව උපත ලද බවත් ජන කතාවලින් කියවේ.

අධික කාමයෙන් මත්වූ රාගාධියෙන් අන්ධ වූ අයෙකු ලෙස මනුෂ්‍ය ජිවිතයක් ලබා සිටියදී ලද පුරුද්ද යක්ෂ ආත්මයටත් රැගෙන ආ බවත් සඳහන් වේ.

මෙම යකාට අත් හතරක් ඇති බව යකැදුරන්ගේ මතයයි. ඉන් දෙකක ඇතුන් දෙදෙනෙකි. එක් අතක කුකුළෙකි. හිසෙහි නයි පෙණ තුනක් ඇත. තවත් මතයක් අනුව මෙම යකාට අවතාර හතකින් පෙනී සිටිය  හැකිය. මෙම යකාගෙන් ගර්භනී කතුන්ට සිදුවිය හැකි අපල උපද්‍රව භයානක බැවින් කාන්තාව ගැබ්ගත් මොහොතේ සිට භාරහාර වීම තවමත් ගැමි සමාජයේ සාම්ප්‍රදායිකව පවතියි. බලි තොවිල් හා ශාන්තිකර්ම තුළින් කළු කුමාර දෝෂය  නොහොත් තනිකම් දෝෂය පලවා හැරිය හැකි බව ගැමියන්ගේ විශ්වාසයයි.

Popular posts from this blog