සලෙළු පෙම

සලෙළු පෙම

 MAPT/21/B1/41 Pradeepa


“මහත්තයා සල්ලි ගෙවලද ආවේ.”

“සල්ලි ගෙව්වේ නැත්තං ඇතුලට එන්න බෑනේ..”

“ඒකත් ඇත්ත නේද හරි මහත්තයා කැමති දෙයක් කරන්න හැබැයි මහත්තයා අද නම් මට ටිකක් අමාරුයි.”

 “ඒ මොකද…?”

 “මට අද සනීප නෑ මහත්තයා උණ….”

“එහෙනම් නෑවිත් ඉන්න තිබුනනේ..”

“එහෙම ඉන්න පුලුවන් නම් හැමදාම එහෙම ඉන්නවනේ..”

“එතකොට කැමැත්තෙන් නෙවෙයිද එන්නේ..”

“මෙහෙම රස්සාවක් කරන්න කවුද කැමති මහත්තයා…..”

“ ඒකත් ඇත්ත තමයි දැන් බෙහෙත් ගන්නේ නැද්ද..?”

“මොන බෙහෙත් ද මහත්තයෝ....”

 “දවසින් දවස මේ බිත්ති හතරට කොටුවෙලා එක එක පිරිමින්ගේ ආශාවන් ඉටු කරන්නනේ අපි ඉපදිලා ඉන්නේ…….”

 

“මම පැය දෙකකට සල්ලි දීලා දීලා ආවේ.”

“ අද මට ගොඩක් අමාරුයි මහත්තයෝ…. අනේ මට සමාවෙන්න..”

 “හරි එහෙනම් මන් යන්නම්…”

“අනේ මහත්තයෝ වැඳලා කියන්නම් පැය දෙකක් ඉඳලා යන්න.”

“ඒ ඇයි…?”

“මහත්තයා ආපු ගමන් යනවා දැක්කොත් මට ගහයි. අනේ මහත්තයා පැයක් හරි ඉදලා යන්න.”

“හරි මම ඉන්නම්. හැබැයි ඉතින් නිකන්ම පැයක් ඉන්නත් අමාරුයි…”

 “හරි මහත්තයා මට කැමති දෙයක් කරන්න මම පුළුවන් විදියට දරාගෙන ඉන්නම්…..”

“අයියෝ එහෙම දෙයක් නෙවෙයි මං අදහස් කලේ. අපි දෙන්නට කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවේ..? ඉතින් කියන්නකො ඔයාගේ කතාව…”

 “අනේ පුළුවන් මහත්තයා.. හැබැයි අපිට පෞද්ගලික තොරතුරු එහෙම කාටවත්ම කියන්න බෑ... ඒත් මං මහත්තයා අහපු නිසා කියන්නම්..”

“මගේ නම විහගි දහම්සා. මම තමයි පවුලේ බාලයා මට අයියලා දෙන්නෙක් ඉන්නවා. පස් දෙනෙක් ඉන්න පවුලේ බාලයා මං නිසා මට හැමෝගෙම ආදරය ලැබුණා. මට හොඳට ඉගෙන ගන්න පුළුවන් පොඩි කාලේ. ඉතින් මං ඕලෙවල් වල්ට ඒ නවයක් අරන් දිස්ත්‍රික්කයෙන් ම පළවෙනියා වුණා. මගේ හීනේ උනේ දොස්තර කෙනෙක් වෙන්න. ඒ හීනයට යන්න මගේ අම්මයි අප්පච්චියි ගොඩක් මහන්සි වුනා. ඒ නිසාම එයාල මාව අමතර පන්තියකට දැම්මා. ඒ පන්තිය තමයි මගේ ජීවිතේ වෙනස් වුන තැන….”

 

“මං ඒ පන්තියට ගියේ ගොඩක් ආසාවෙන් මහත්තයෝ…මොකද අපේ පන්තියේ හිටියා දිනෙත් කියලා පිරිමි ළමයෙක්. හැමෝම වශී වෙන කඩවසම් පෙනුමක් එයාට තිබුණේ. මං වගේම එයත් මට කැමති කියලා දැනුනා එක දවසක්. ඒ එයා මගේ ළඟට ඇවිත් ඉදගන්නද කියලා අහපු දවස. එදා අපි ගොඩක් දේවල් කතා කරා. අන්තිමට එයා යද්දි මගෙන් ඇහුවා ඔයා මට කැමතිද කියලා. මං දෙපාරක් හිතන්නේ නැතුව ඒයාට කැමතියි කිව්වා. අපි අවුරුද්දක් විතර ආදරය කළා. ඒ කාලේ හරිම සුන්දරයි. අපේ ආදරෙත් එක්ක හරි ඉක්මනට අවුරුද්දක්ම ගෙවිලා ගිහින් තිබුණා. ඔය අතරේ එයා මට දවසක් කිව්වා එයාගේ උපන්දින සාදයට එන්න කියලා. එදා තමයි මගේ ජීවිතය මට අහිම් උනේ. එදා මම ගෙදර අයටත් බොරු කියලා දිනෙත්ගේ උපන්දින සාදයට ගියා.ඒකට ගිහින් ආවට පස්සේ මේ හැම දෙයක්ම වෙනස් වුණා මහත්තයෝ...එදා මං ගෙදර ආවේ මගේ වටිනම දේ එයාට දීලා. එයාගේ උපන්දින තෑග්ග වෙනුවට එයා මගෙන් ඉල්ලුවෙ මගේ ජීවිතේ. එදා මං කිසි දෙයක් නොහිතා මගේ ජීවිතේ ම මගේ ආදරේ වෙනුවෙන් දුන්නා…”

“ඇයි මේ ඇස් වල කදුළු.. ඉතින් එතනින් එහාට මොකද වුණේ…?”

“එතනින් එහාට උන දේවල් මම මතක් කරන්නවත් කැමති නෑ මහත්තයෝ. ඒත් ඒ අඳුරු කතාව මාව මෙතනට ගෙනාවා.”  “කොහොමද එහෙම වුණේ…?”

“එක සැරයක් එයාගේ ආශාව ඉටු කරපු මට එයාට ඕනි වුණ හැම වෙලාවකම එයාගේ ආශාවන් ඉෂ්ට කරන්න යන්න වුණා. මම බෑ කියලා කොච්චර කිව්වත් මට ඉන්න දුන්නේ නෑ. අපි එකට හිටිය වීඩියෝ එකක් එවලා මාව බය කරා. මගේ පවුලේ අයට ඒ වීඩියෝ එක යවනවා කියලා. මාව ගොඩක් බය කරා මහත්තයෝ. ඉතින් මට මගේ ජීවිතේට වඩා එයාලගේ ජීවිත වටින නිසා අකමැත්තෙන් වුණත් ඒ මනුස්සයා ළඟට යන්න සිද්ධ වුණා. ඒත් ඒ වෙද්දිත් මං ආදරේ කරපු ඒ මනුස්සයාව මට අප්පිරිය වෙලා තිබුනේ...ඒත් මට වෙන කරන්න දෙයක් නැති වුනා. ටික දවසක් යද්දි දිනෙත්ගේ විතරක් නෙවෙයි එයාගේ යහළුවන්ගෙත් ඕනෑ එපාකම් ඉටුකරන්න වුණා මට. මට ඒ ජීවිතේ හොඳටම කලකිරුණා මහත්තයෝ. ඒ ජීවිතෙන් ගැලවෙන්න තිබුණ එකම මාර්ගය වුණේ ගෙදරින් එන එක විතරයි.ඉතින් එදා රෑ මං ඒ තීරණේ ගත්තා. මං කොළඹ ආවා..”

“කොළඹ ඇවිත් ඇයි මේ වගේ රස්සාවකට ආවේ….?”

“යන්න තැනක් දන්න කවුරුත් මෙහේ මට හිටියේ නෑ. පාරේ අයිනකට වෙලා ඉස්සරහට මොනවද කරන්නේ කියලා කල්පනා කර කර ඉද්දි එක පාරටම වාහනයක් ඇවිත් මගෙ ලගින් නතර කරා. ඒ වාහනෙන් ලස්සන මිස් කෙනෙක් බැස්සා.මං එයාව දැක්කේ හරියට සුරදූතියක් වගේ.. එයා මං එක්ක කතා කරා හරිම ආදරණීය විදිහට.මට කන්න බොන්න දීලා රස්සාවකුත් දෙන්නම් කියලා මාව එක්ක ආවා. එවෙලේ මට හිතුනේ දැන් හැමදෙයක්ම හරි කියලා.. මට ගොඩක් සතුටු හිතුනා.. ඒත්….. ආයෙත් මං රැවටුනා මහත්තයෝ. මාව මෙහෙට ගෙනාව නිරෝෂා මිස් මාව ගෙනාවේ මේ වගේ තැනකට කියලා දැනගත්තම මට මැරෙන්න හිතුනා මහත්තයෝ. ඒත් මට මගේ අම්මගෙයි අප්පච්චිගෙයි මූණූ මතක් වෙද්දි එහෙම කරගන්න තරම් හිත හයිය නැති වුණා.”

 

“ඇයි ඉතින් ඔයා පොලිසියට නොගියේ…?”

 “කොහේ යන්නද මහත්තයා.. මෙතනින් එහාට යන්න අපිට අවසර නෑ. එක දවසක් යන්න ගිහින් අහු උනා. කෑම නැතුව දවස් දෙකක් කාමරයක හිරවෙලා හිටියා. දැන් මම ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි මහත්තයෝ…”

“මෙතනින් යන්න ලැබෙන්න කියලද..?”

“නෑ මහත්තයා මේ ලෝකේ කිසිම තරුණියකට ප්‍රේමය නමින් ආශාවට ලොල් උන පිරිමි හම්බෙන්න එපා කියලා…”

“ඔයාට මෙතනින් යන්න හම්බුනොත් ඔයා මොකද කරන්නේ..?”

 “මම මගේ අම්මගෙයි අප්පච්චිගෙයි ලඟට ගිහින් කකුල් දෙක අල්ලලා සමාව ගන්නවා. සමාජේ මාව ගණිකාවක් කියල හන්වඩු ගැහුවත් මම දන්නවා එයාලා මාව එයාලගේ දුව විදිහටම බාරගනියි කියලා. මහත්තයට ගොඩක් පින් මහත්තයෝ. මගේ කතාව අහන් හිටියට. කාලෙකට පස්සේ මගේ හිතට අද සහනයක් දැනුනා…”

“එහෙනම් දැන් යන්න ලෑස්ති වෙන්න…

 මම සල්ලි ගෙවලා මෙතනට ආවේ මගේ ආශාවන් ඉටු කරගන්න නෙවෙයි. මම ආවෙ ඔයත් එක්ක ටිකක් කතා කරන්න. ඇත්තටම මම සී.අයි.ඩී පොලිස් ඔෆිසර් කෙනෙක්. තව ටිකකින් පොලිසියෙන් මෙතනට එයි. දැන් ඔයා යන්න ලෑස්ති වෙන්න…”

“අනේ මහත්තයෝ මහත්තයාට ගොඩක් පිං…..”

 “පිං එපා… යන්න දෙමව්පියන් ළඟට. වැරදුන තැනින් ආපහු ජීවිතේ පටන් ගන්න. මගේ කාඩ් එක ඔය මේසය උඩ තියෙනවා. පොලිසියේ ප්‍රශ්න කිරීම් අවසන් වුනාම ඇවිත් මාව හම්බවෙන්න. ඔයාගේ හීනෙට යන්න මං උදව් කරන්නම්. ඒක මං කරන්නේ හරි ආසාවෙන්.. ඔයා වෙනුවෙන්ම....”


Popular posts from this blog