ස්නේහවන්තියකි ඇය

ස්නේහවන්තියකි ඇය 

MAPT/21/B1/38 Thilini Gamage

" සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හම්බ උනා. ඔයා තමයි බබා කෙටූ එක්කෙනා "

" වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා වසන්තේ අරන් ඇවිල්ලා ..

අනේ මම බලාන උන්නා. යළිත් ඔබ එතැයි කියා. "

" ආවේ නෑ.... එයා ආවේ නෑ..... එයා මාව දාලා ගිහින් දිව්‍යලෝකේ . සුරංගනාවියෝ බලන්න ගිහින් එයා."

රෝහලේ රෝගීන් පරීක්ෂා කරන්න යුහුසුලුව කොරිඩෝ එකේ ගමන් කරන මට ඇහුනේ ලස්සනට සිංදු කියන කට හඩක්. එච්චරට ඒ හඩ මිහිරී. 

" නර්ස් කවුද ඔය සිංදු කියන්නේ. "

මම පිටුපසින් වාට්ටුවට යන නර්ස්ගෙන් ඇහුවේ කොරිඩෝවේ නැවතෙමින්.

" ඩොක්ටර් ඔය ඇහෙන්නේ පහේ වාට්ටුවට ගෙනාපු ලෙඩාගේ කට හඩ . ලස්සනට සිංදු කියනවා ඩොක්ටර් . අහගෙන ඉන්න ආසා හිතෙනව්වා . අවුරුදු විස්සක පොඩි කෙල්ලක්. "

පහේ වාට්ටුවේ ඉන්නේ  මානසික ලෙඩ්ඩු . ගොඩක් මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නේ මොකක් ම හරි ප්‍රශ්නයක් නිසා . මේ ගර්ල් බලන්න මට ගොඩක් ආසා හිතුනා . මට අදාල වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කරලා මම කෙලින් ම ගියේ පහේ වාට්ටුවට.

" මට ලැබුනු හැමදේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා.....

පෙර පිනට මුණ ගැහුනු බව තේරුනා . 

දුටු මුල් දිනේ දී පවා...."

කෙල්ල ඇද උඩ නැගලා කොසු මිටක් කටට ළං කරන් සිංදු කියනවා. දිග කොන්ඩේ පස්සෙන් පහළට දිගයී . කඩා දාලා තියන කොන්ඩේ අවුල් ජාලාවක්. කෙල්ල දිහා බලාගෙන ඉදලා මම හැරිලා ආවේ පහේ වාට්ටුව භාර ව ඉන්න ජයතුංග මිස් හොයාගෙන . මාව දැකපු කෙල්ල කලබල උනා කියලා මට හොදට ම තේරුනා .

" ඩොක්ටර් සහන්. මොකද මේ පැත්තේ.

 මට සහන් ව මීට් වෙන්න උවමනාවකුත් තිබුනා."

ඩොක්ටර් ජයතුංග මාව දැකපු ගමන් සුහද සිනහවකින් පිළි ගත්තා.

" ඩොක්ටර් වැඩක් නෑ නේ ද ? මම ටිකක් කතා කරන්න ආවේ."

මම ඩොක්ටර් ජයතුංග ඉදිරියේ ඇති පුටුවේ හරි බරි ගැහිලා වාඩි උනා.

" වැඩත් නෑ ඩොක්ටර් සහන්. මම තව ටිකෙන් ඕෆ් වෙනවා නේ. අද මගෙ ඩේ එක. "

" මේකයි ජයතුංග මිස්. කවුද අර පහේ වාට්ටුවේ සිංදු කියන ගර්ල්. හරි ම ලස්සනට සිංදු කියනවා. ඒ වගේ ම ගර්ල් හරි ම ලස්සනයි . "

" ඩොක්ටර් සහන් මම ඒ ගර්ල් ගැන ඩොක්ටර් එක්ක කියන්නදෝ නොකියන්නදෝ කියලා හිතුවා දවස් කීපයක් ඉදන් ම. ඒ ඉන්නේ හිරුෂි. කෙල්ල යාලුවෙලා ඉදලා තියෙන්නේ ඩොක්ටර්ගේ මල්ලි හසිත් එක්ක. මල්ලි ඇක්සිඩන්ට් එකකින් නැති උනාට පස්සේ තමයි කෙල්ල ට පිස්සු හැදිලා තියෙන්නේ . කෙල්ලගේ දෙමව්පියෝ විස්තර කීවාට පස්සේ තමයි ඒ මිනිස්සු දැන ගත්තේ හසිතගේ අයියා, ඒ කියන්නේ ඩොක්ටර් සහන් වැඩ කරන්නේ මෙහෙ කියලා . "

" මොනව ..... මල්ලී නැති වෙද්දී අපි හිතුවේ මිනිහාට එෆෙයා එකක් තිබුනේ නෑ කියලා .මොකද මිනිහාට ලව් කරන්න නෙමෙයි නේ උවමනාව තිබුනේ ගායකයෙක් වෙන්න නේ.අනේ දෙයියනේ "

" ඒත් හැමෝටම කොලේ වහලා මිනිහා කෙල්ලෙකුට ආදරේ කරලා . පේනවා නේ ද කෙල්ලගේ ලස්සන. " 

" ඒකනේ මිස්. කෙල්ල මාව දැකලා කලබල උනේ එහෙනම් මල්ලි මතක් වෙලා වෙන්න ඇතී.අපි දෙන්නම එක වගේනේ....ඒත් මූ නම් මාර මිනිහෙක් නේ.අපිට කොලේ වැහුවා "

" ඩොක්ටර් සහන්.....මට හවස චැනල් සෙන්ට්‍රල් එකට යන්නත් තියනවා . ‍යන ගමන් බබා අරන් යන්නත් ඕන ඩේ කෙයා එකෙන්.මම යන්නම්. අපි හෙට කතා කරමූ. "

ඩොක්ටර් ජයතුංග ගියාට පස්සේ මම ඒ කාමරේට තනි උනා. දෙයියනේ අර ලස්සන කෙල්ල මැරි කරන්න හිටියේ අපේ මල්ලී ද ? ප්‍රශ්න කෝටියයි හිතේ. කොච්චර මල්ලීට ආදරේ කරන්න ඇද්ද ඌ මැරුනාට පස්සේ පිස්සු හැදෙන්න තරම්. ඒ ආදරේ කොච්චර බලගතුයි ද 

පසුදින මට නිවාඩු නිසා කෙල්ලගේ ගෙදර ඇඩ්‍රස් එක හොස්පිට්ල් එකෙන් හොයාගෙන ඒ ගෙදරට  ගියේ මගේ මිතුරා ඩොක්ටර් මලිදු එක්ක. ඒක ලස්සන ගම්බද පුංචි ගෙදරක්. 

" මේ මහත්තයාලා කවුද ?"

" අපි ටවුමේ ඉස්පිරිතාලෙ දොස්තරලා දෙන්නෙක්. හිරුෂි නංගි ගැන විස්තර ටිකක් දැන ගන්න ආවේ. "

" හසිත මහත්තයා ගේ සහෝදරයා ද මේ. හසිත මහත්තයාගේ පෙනුම පොඩ්ඩක් තියනවා .එයා අපිට කියලා තියනවා අයියා ඩොක්ටර් කෙනෙක් කියලා "

" ඔව් මගෙ මල්ලී තමයි ඒ.."

" වාඩි වෙන්නකෝ මහත්තයාලා දෙන්නා. අනේ මගෙ කෙල්ල උසස් පෙළ කරලා ගෙදර ඉන්න කාලේ තමයි හසිත මහත්තයා එක්ක මේ පලහිලව්ව පටන් අරන් තිබ්බේ....හසිත මහත්තයා රියැලටි ශෝ එකක ලස්සනට සිංදු කියනවා දැකලා මේකී හසිත මහත්තයා ට වහ වැටුනා. හසිත  මහත්තයා කියන සිංදු ආපහු ආපහු අහනවා. කොහොම හරි හසිත මහත්තයා ගැන විස්තර හොයන්න ගත්තා. කොහොම හරි රණ්ඩු වෙලා අපේ ලොකු කොල්ලාට කියලා ස්මාට් ෆෝන් එකක් අරගෙන ඒ සිංදු කියන මහත්තයා එක්ක මැසේජ් ද කෝල් ද මොනව ද කොරලා.ඉතින් කාලයක් යද්දි මේක දුරදිග ගිහිපු සම්බන්ධයක් වෙලා මහත්තයා මෙහෙ ආවා ගියා හිටන්. සීදේවි මහත්තයෙක්.

කිසිම අහංකාරකමක් බොරු කියන්නේ මොකට ද අපිටත් ඒ මහත්තයා ගැන පැහැදීමක් ඇති උනා. ඔන්න ඔය අතරේ තමයි මහත්තයෝ ඒ හසිත මහත්තයා වාහනේකට හැප්පිලා නැති වෙලා කීවේ. ඒ කතාව අහලා මගෙ කෙල්ලට කම්පනේ වගේ හැදුනා. ගොඩක් දවස් කතා බහ නොකර බලා ගත්තු අත බලාගෙන හිටියා. ඊට ටික කාලෙකට පස්සේ ඒ හසිත මහත්තයා කියන සිංදු කිය කිය කෑ ගහන්න ගත්තා. "අනේ කෙල්ල මතක් වෙද්දි පපුවා පත්තු වෙනවා මහත්තයෝ ......

" මේන්න බලන්න මහත්තයෝ දෝණිගේ කාමරේ. ඇවිත් බලන්නකෝ."

කෙල්ලගේ අම්මා දොර රෙද්ද මෑත් කරලා පුංචි කාමර කෑල්ලක් පෙන්නුවේ. දෙයියනේ කාමරේ පුරා ම බිත්තිවල මල්ලීගේ ෆොටෝස් අලවලා. කෙල්ලයි අපේ මල්ලී දෙන්නාගේ ෆොටෝ ඇල්බම් එකක් ම තිබුනා . අපි නොදැනුවත්ව උනත් මේ සම්බන්ධය ගොඩක් දුර දිග ගිහින් තිබුනා .වැඩි විස්තර කතා කරද්දි දැනගත්තේ කෙල්ලගේ උසස් පෙළ රිසාල්ට් එක. ජීව විද්‍යාවෙන් උසස් පෙළ කරපු කෙල්ලට ඒ දෙකයි බී එකයී . මේ දෙමව්පියෝ කොච්චර හීන මවන්න ඇති ද කෙල්ල ව ඩොක්ටර් කෙනෙක් කරන්න.

" මොකද බන් අපි කරන්නේ.මම මලිදුගෙන් ඇහුවේ මුකුත් හිතාගන්න බැරිව. 

"මම නම් කියන්නේ මල්ලි වෙනුවෙන් කරන්න තියන ලොකු ම දේ තමයි මේ කෙල්ල ව හොද කරලා ඩොක්ටර් කෙනෙක් කරන එක. "

ගෙදර ඇවිත් අම්මා, අප්පච්චී , අක්කා එක්ක විස්තර කියද්දී හැමෝටම පුදුමයි . හිරුෂිගෙයි අපේ මල්ලිගෙයි ෆොටෝ ඇල්බම් එක බදාගෙන අම්මා අඩනවා. මල්ලී හිරුෂී දෙන්නා ගොඩක් ගැලපෙන ජෝඩුවක් කියලා මටත් ඒ ෆොටෝස් බලද්දී හිතුනා .  හැමෝගෙම අදහස උනේ කෙල්ලව සනීප කරමු කියන එක. ඒ අනුව ක්‍රියාත්මක වූ මම ලංකාවේ දක්ෂතම මානසික වෛද්‍යවරියකු මාර්ගයෙන් කෙල්ල ව සුවපත් කලා අවුරුද්දක් වැනි කාලයක් තුල දී. 

දින සති මාස අවුරුදු ගෙවෙද්දී ඇය පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය අවසන් කර ලංකාවේ දක්ෂතම ආයුර්වේද වෛද්‍යවරියක් උනා.සියලු වියදම් දැරුවේ මම.මටත් ඕන වුනා මගේ මල්ලි වෙනුවෙන් හිරුෂිට උදව් කරන්න.මට නොදැනිම එයා ගැන මට අදහසක් ඇවිත් තිබුනා....ඒත් එක දවසක්,,,

" අහ් මේ අපේ ඩොක්ටර් හිරුෂිනේ. වාඩි වෙන්න නංගී. අද නිවාඩු ද ?"

" මම රස්සාවෙන් අස් උනා අයියේ .. "

කෙල්ල සුදු සාරියක් ඇදලා කොන්ඩේ තනි කරලට වෙන්න ගොතලා හරි ම පිං පාටයී. 

" මොකක් ????? ඒ මොකද නංගී....."

" මම හෙට පැවිදි වෙනවා අයියේ. ගොඩක් දුර පලාතක.ආරාමෙක. පැවදි ජීවිතේ ඉදගෙන පුලුවන් විදිහට රෝගීන්ට නොමිලේ  බෙහෙත් කරනවා. ඒ ආරාමේ ලොකු මෑණියෝත් රෝගීන්ට වෙදකම් කරනවා. ඒකයි අයියේ මම ඒ ආරාමේ තෝර ගත්තේ "

" අනේ නංගො.....ඇත්තම කීවොත් මම ඔයාට ගොඩක් අදරේ කරනවා නංගී. ඔයා මගෙ ම සහෝදරියක් වගේ.හිතේ තිබ්බ දේ කියාගන්න බැරි වුනත් මම එයාට නොදැනෙන්න එහෙම කිව්වේ හිත අස්සෙන් කෑ ගහලා අඩන ගමන්.. 

පැවදි වෙලා මම රෝගීන්ට බෙහෙත් කරනවා අයියේ. හසිත් අයියාට පිං දෙනවා. ආපහු අකල් මරණයක් නොවෙන්න. මම මේ ගිහි ජීවිතේ ගැන ගොඩක් කල කිරුනා. මාව සනීප කලාට ඔයාලට ගොඩක් පිං .ඔයත් දැන් ඔහොම හිටියා ඇති හොද කෙනෙක් තෝරගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න අයියේ. මට මේ කරපු හැමදේටම ඔයාට පිං "

හිරුෂි මගේ දෙපා නැමදලා පිට ව ගියා.  හැමදේම හීනයක් වගේ.මට තේරෙන්නේ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා.

ඒත් මම එක දෙයක් දන්නව මං මටම කියාගත්තා.

" මල්ලී උඹ වෙනුවෙන් මම ඒ කෙල්ල ව සනීප කලා. "

පින්තූරේ අත ගාලා එහෙම කියපු මම කාමරේට ගියේ හැමදේම අතීතයට බාර දෙමින්.


Popular posts from this blog