වගකීම

වගකීම…..

P.H.S.Madhubhashini MAPT/21/B1/28

"මල්කි, මොනවද  මනුස්සයො  මේ කරල තියෙන්නෙ, වගකීමක් ඇතුව වැඩ කරන්න බැරිද තමුසෙට"

එකෙණෙහිම සිදුවූ දෙය වටහාගත නොහැකිව බියටපත්ව වූ ඇය තම ආයතන ප්‍රධානියා දෙස බලා සිටියේ විශාල තැතිගැන්මකිනි.

"ඇයි සර් මොකක්ද  වෙලා තියෙන්නෙ ?"

"මොකක්ද වෙලා තියෙන්නෙ තමයි, දුන්න ප්‍රොජෙක්ට් එක තනිකරම අනිත්පැත්තටනෙ ඕයි කරල තියෙන්නෙ. විශ්වාස කරල වගකීමක් භාරදුන්නම ඒකෙ හරි ෆිනිශින් එකක් තියෙන්න ඕනි. දැන් මමනෙ බෝඩ් එකට උත්තර දෙන්න ඕනි,තමුසෙල නෙමේනෙ."

ඇස් අසූවක් ඉදිරියේ වූ අවනම්බුව ඇයට මෙතෙකැයි කිවනොහැක. තම ජීවිතයේ අසීරුම කාලපරිච්ඡේදයකට මුහුණදෙමින් සිටින ඇයට මේ හදිසියේ  සිදුවූ සිද්ධිය දරාගත නොහැකි සීමාව ඉක්මවූවා නිසැකය. නමුත් එය ඇගේ මුහුණෙන් දිස්නොවූයේ මන්ද යත් ඇයටම සිතාගත නොහැකි විය.

" සර් මට තේරෙනවා, මොකක් හරි පොඩි වැරැද්දක්  වෙලා ඇති......"

" පොඩි වැරැද්දක් හොඳ පොඩි, වැඩක් හරියට කරගන්න බැරි නම් ගෙදරට වෙලා ඉන්නව මෙතන අපේ කාලය කන්නැතුව."

ඇය කඳුළු පිරි දෙනෙතින්  බිම බලාගත් වග දුටු පෙරේරා මහතා තම ස්වරය බාල කර තරහින් මුමුණනමින් ඔහුගේ කැබිනය දෙසට ඇඳුනේ කෝපගත් කු‍ළු  මීමෙකු ගාල්වන්නාක් පරිද්දෙනි. මුළු කාර්යාලය පුරාම මුණු මුණුවක් හටගෙන ඇති බව දෙසවනට නැගුණු ඇය තම යෙහෙළිය දිසාවට ඇස් කොනෙන් බැල්මක් හෙළීය. දිනිති දුක්ඛිත ලෙස අසීරුවෙන් ඇය දෙස බලාසිටිනු වග ඇගේ නෙත් කොණ ගැටුණි. නැවත කඳුළු ඉනීමට එයද කාරණයක් වන නිසා ඇය නැවතත් බිම බලාගත් වනම වැඩ කිරීමට පටන්ගත්තාය.

" කෙල්ල කන්න යං, එකත් පහු වෙලා..."

ඇය උදෑසනම සිදුවූ සිදුවීමෙන් පසු නැවත හිස ඔසවා බැලුවේ මේ මොහොතේ ය. පසුතැවීම, හිත් වේදනාවන් හිතට අහර සපයා ඇති බැවින් කුසට අමුතු අහරක් නොවුමනා විය.

" ඔයා ගිහින් කන්න දිනිති, මට බඩගින්නක් නෑ."

" යං අපි කමු......"

දිනිති එසේ කියමින් බලෙන් ඇය කැඳවා කාර්යාලයෙන් පිටතට ද ඇය කැටුව ආවාය. නැවත පෙනහළු පුරා දුවන නැවුම් හුස්මක් ලද  බවත්, එය තමා ලද මහත් අස්වැසිල්ලක් බවත් පසක් කරමින් මද සිනහවකින් තම පරම යෙහෙළියට සංග්‍රහ කළාය.

කාර්යාලයට ළඟම ඇති උද්‍යානයේ තම සුපුරුදු බංකුව මත ඉදගත් ඔවුන් දෙදෙන මද වේලාවක් නිහඬතාවය රැකීය. දිනිතිට තවත් මෙය බලා සිටිය නොහැකි විය. නමුත් ඇයට තම යෙහෙළියගේ බිඳුණු සිත තවත් බිඳීමට  ද නොහැක. නමුත්  අවස්ථාව පැමිණෙන තෙක්  ඇය නොඉවසිලිවන්ත විය.

" ලස්සනයි  නෙහ්!"

නිහඬතාවය බිඳිමින් මල්කි කුමක් ගැන පවසන්නේ ද යත් දිනිතිට හරිහැටි වැටහීමක් නොවීය.

 " මොකක්ද  ලස්සන ?"

ඉදිරියෙන් පෙනෙන නාටු ගැසී, කොළ හැලී ගිය පිහිඹියා ගස්  කිහිපයක් දෙස පෙන්වමින් මල්කි දිනිති දිහාවට හැරුණා ය.

" වෙනදට වඩා ලස්සනක් තියෙනව බං"

ඇය කියූ දෙයින් වික්ෂිප්ත වුවද ඇයව තේරුම්ගත් දිනිති මද සිනහවක් පා ඇය කරවට අතක් දැමුවාය.

එකෙණෙහිම මල්කිගේ දුරකථනය නාදවන්නට පටන් ගත්තේය. දුරකථනය  දෙසට නෙත් යොමූ ඇයගේ මුවග කළුවලාවකින් වට වන්නට විය. ඇය ක්ෂණයෙන් දුරකථන ඇමතුම විසන්ධි  කළ ද නැවතත් දුරකථනය නාදවන්නට විය.

"ධනුෂ්ක, මම කලින් කියපු විදියමයි; කිසිම වෙනසක් නෑ. ඔයා වෙන අතක් බලාගන්න ප්ලීස්, මට මෙහෙම  වදදෙන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ, අපරාදෙ ඔයාගෙ කාලෙ."

තරහෙන් නමුදු කල්පනාකාරීව, මෘදුව ඇමතූ මල්කි දුරකථන ඇමතුම විසන්ධි කළේය.

" ධනුෂ්ක පව් බං,උබට තව හිතන්න තිබ්බ; හොඳ කොල්ලෙක් නෙ, කියන්න තරම් වරදක් නෑනෙ."

එසේ කියූ දිනිති මල්කි දෙස බලාගත් වනම සිටින්නට විය .

" උබටත් අමුතුවෙන් තේරුම්කරන්න ඕනි නෑනෙ බං"

එසේ කියූ මල්කිගේ දෙනෙත නැවතත් තෙත් වූයේ ඇයටම නොදැනිමය.

" නිකන් අහක ඉන්න මනුස්සයෙක්ගෙ ජීවිතයක් විනාශ කරන්න ඕනි නෑ බං, අම්මලට, නංගිට, මල්ලිට ඒම අහක බලන්නත් බෑ බං මට, උංගෙ බඩවල් හුළඟින් පිරෙන්න ද?, ධනුෂ්ක තේරුන් ගනී, එයා මොළේ තියෙන කෙනෙක්"

නැවතත් සුසුමක්  හෙළා නාටු ගැහුණු පිහිඹියා ගස් පෙළ දෙසට තම දෙනෙත් යොමා ඇය බලා සිටි වග සිටියාය .

" අඩේ පඩි වැටිල බං"

සතුටින් ඉපිල්ලෙන ස්වරයෙන් කෑගැසූ දිනිතිගේ හඬට දෙලොවක් අතර සිර වූ ඇය ක්ෂණයෙන් දුරකථනය පිරික්සා බැලුවේ, මේ කුඩා චිත්ත ප්‍රහර්ශයෙන් සිත කොනිත්තා ගනීමටය.

" විසිදහයි බං වැටිල තියෙන්නෙ මට"

බිඳුණු ස්වරයෙන් කෑගැස්සුණු මල්කි දිනිති දෙස අසරණව බලා සිටියාය .

" එහෙම වෙන්නෙ කෝමද, උබ හොඳටම  බැලුවද, ඉදපන් එච් ආර් කෝල් කරමු ඉක්මනින්, මං ගන්නම්"

" ආ ඔව්.. පඩි කපන්න උනා අපිට, වෙන ක්‍රමයක්  නෑනෙ ඒ ප්‍රොජෙක්ට් එක මැසිව් ප්‍රොජෙක්ට් එකක්; ඩිරෙක්ට්ලි කම්පැනි එකට බලපාන වැඩක්, පාඩුව වෙනුවෙන් වගේම ආයෙ මේවගේ දෙයක් නොවෙන්න ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙච්ච කිහිපදෙනෙක්ගෙම පඩි අපිට කපන්න වුණා.

බෝඩ් එකේ අනුමැතිය මත; සොරි ඉතින් කරන්න දෙයක් නෑ."

එය හොඳින් අසා සිටි මල්කි මද සිනාවක් පා නැවත ඉදිරියෙන් පෙනෙනෙ නාටු ගැසීගිය පිහිඹියා ගස් කිහිපය දෙස තම දෙනෙත යොමු කළාය.

"අර ගස් මැරිලමත් නෑ බං, පොඩි පොඩි දළු ටිකක් දාගෙන එනව."

"දළු  නෙමේ බං කෝමද දැන් උබ මේ මාසෙ රං කරන්නෙ? විසිදහෙන් මොනාකරන්නද, අම්මගෙ බෙහෙත් ටිකටම විසිදාහ මදි නේද?"

"මොනාහරි කරනව බං"

එසේ කියූ මල්කිගේ ඇඟිලි තම කන්පෙති අතගෑවේය.

ඇත්තෙන්ම නාටු ගැසුණු පිහිඹියා ගස් පෙළෙහිම පුංචි, ඇසට නොපෙනෙන තරම් දුරින් දළු  රාශියක් විය. 

Popular posts from this blog