ජීවිතයට

ජීවිතයට

K.K.Buddhimal MAPT/21/B1/13

"මේඝ අර, අර බලන්න, ඒ කපල් එක රණ්ඩු වෙනවා නේද? " 


"කෝ කොහෙද නිත්‍යා ?"


"අර අතන ළමයෝ අර බංකුවේ ඉදගෙන ඉන්නේ, අර ගහ යට. දෙයියනේ ගැහුවා නේද කෙල්ලට කම්මුල් පාරක්. අනේ පව් මේඝ" 


"ඒක නම් වැදුණා කෙල්ලේ" 


" අනේ අපි ටිකක් ගිහින් බලමුද? ආයිමත් ගහයිද මේඝ?"


"ඕනේ නෑ ළමයෝ ආයි අත උස්සන එකක් නෑ. ඔය කතා කරන්නේ දෙන්නා."


ටික වෙලාවක් බහින්බස් වුණු පෙම්වතුන් දෙන්නා වෙන වෙනම දෙපැත්තට ගිහින් නොපෙනී ගියා.


" ඇයි මේඝ ආදරේ කරන්න මේ පාක් එකට ඇවිත් එහෙම රණ්ඩු වෙලා යන්න ගියේ. ඒ දෙන්නා ආපහු යාලු වෙයිද? "


එහෙම කියද්දිම මේඝ මගේ මූණ දිහා බැලුවේ කුතුහලයෙනුයි, හිනීයට ඇදුණු හිනාවකුයි එක්ක.


" යකෝ මේකිට තියෙන ප්‍රශ්න. අපිට මොකද බන්. උන්ට රණ්ඩු වෙන්න මොකක් හරි හේතුවක් ඇති. මේ ගෑනුන්ටත් ඕනේ නැති මඟුලක් නෑ." කියලා මට ටොක්කකුත් ඇනලා ඉන වටේ අත දාලා මාව ළඟට ගත්තා. හිමීට ඒ පපුව උඩ තුරුළු වෙලත් මට හිතෙන්න ගත්තෙත් ඒ ගැනමයි.


"තාම ඒ ගැනමයි නේද කල්පනාව" 


"ඇත්තටම ඔව් මේඝ."


"මොනවද ඉතින් ඕකේ ඔච්චර කල්පනා කරන්න තියෙන්නේ? උන් දෙන්නා රණ්ඩු වුණා එච්චරයි"


"නෑ ළමයෝ. අපි දෙන්නා මෙතනට එනකොටත් ඒ දෙන්නා එතන ඉඳගෙන හිටියේ. ඒ වෙලාවේ පුදුම ආදරයකින් ඒ දෙන්නා හිටියේ. අනික අපි දෙන්නා මේ තුරුල් වෙලා ඉන්නවා වගේමයි හිටියේ. ඒත් එකපාරටම කොල්ලා කෙල්ලගේ ෆෝන් එක බැලුවා. බැනගෙන බැනගෙන ගියා කෙල්ල මොනාදෝ කියන්න හැදුවා විතරයි ගැහුවා." 


" ඒකි මොකක් හරි වැරැද්දක් කරන්න ඇති ඉතින්. නැත්තම් ගහන්නේ නෑනේ"


"මට එහෙම හිතෙන්නේ නෑ. මං දැක්ක වෙලේ ඉදන් ඒ කෙල්ල කොල්ලා දිහා හරීම ආදරෙන් බලාගෙන ඉන්න එක විතරමයි කලේ. ආදරේ නැත්තම් එහෙම ඉන්න බෑ. ඒ ඇරත් අපි හිතමුකෝ කෙල්ල වරදක් කලාමයි කියලා. ඒත් ඔහෙම කෙල්ලෙක්ට අත උස්සන්න පුළුවන්ද? මෙච්චර මිනිස්සු ඉස්සරහ. ඒක අන්තිම වැරදි වැඩක්. අනික කෙල්ලට කතා කරන්න ඉඩ දුන්නෙත් නෑ.කලින් අර තරම් ආදරෙන් ඉදලා පොඩි වෙලාවකින් වෙන් වෙලත් ගියා. කොහොමද එච්චර ඉක්මන්ට වෙනස් වෙන්නේ මිනිස්සු? "

 

මේඝ මගේ ඔලුව අතගාලා මූණ උඩට හැරෙව්වේ ඇස් දෙක දිහා බලාගෙනම මොකක් හරි කියන්න කියලා මට තේරුණා.


"මැණික මේ අහන්නකෝ. මනුස්සයෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි ඉවසීමයි, තේරුම් ගැනීමයි, සංවේදීභාවයයි. මේ තුන නැතුව කොච්චර ආදරණීය කෙනෙක් වුනත් වැඩක් නෑ. එයා අවට ඉන්න අයට ඒ නිසා දුක් විදින්න වෙනවා. අපි ආදරේ කරන්න තෝරගනිද්දී ඔන්න ඔය දේවල් තියෙන කෙනෙක් තෝරගන්න වග බලාගන්න ඕනේ. මොකද අපි ආදරේ කරන්න පටන්ගන්නේ විදින්න හිතාගෙන මිසක් විදවන්න බලාගෙන නෙවෙයි. ඒත් දැන් ඉන්න මිනිස්සු හති දාගෙන පස්සෙන් දුවන්නේ ලොකු ලොකු ගෙවල් හදන්න යානවාහන ගන්න සැපට ඉන්න බලාගෙන මේ වගේ අපි වටේ තියන සැප දියුණු කරගන්න බලන්නේ. ඒත් කීයෙන් කී දෙනාට තමන්ගේ ඇතුලේ තියෙන ගතිගුණ දියුණු කරගන්න උත්සාහ කරන්නෙ. ඒ දෙන්නටත් මේ දේ තේරිලා තිබ්බනම් අද ඔහොම හැසිරෙන්නේ නෑ. සමහරවිට ඒ දෙන්නා ආයි එකතු වෙන එකකුත් නෑ. පුදුම තරම් ආදරෙන් ඉදලා පුංචි පුංචි රණ්ඩු සරුවල් නෙතේරුම් ගැනීම් නිසා වෙන්වෙලා හිත යටින් අදටත් විලාප තියන පෙම්වතුන් කීයක් ඇතිද මේ මහ පොළොවේ. අදටත් පසු තැවෙනවා ඇති එදා මං ඉවසුවා නම් කියලා. ජීවිතේ කියන්නේ එහෙමයි මැණික. කොයි බැදීමත් ලස්සනයි තේරුම් ගත්ත දවසට. තේරුනාද? අම්මෝ මට බඩගිනියි බන්. දැන්වත් කන්න යමුද?"


"හ්ම් අපි යමු. මේ‍ඝ! මං ආදරෙයි."


"මැට්ටී".


මේඝගේ අතේ එල්ලිලාම අපි ගියේ මොනාහරි කන්න.


නිමි.


Popular posts from this blog